General06 July 2026

මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට

මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් 18 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස කොළඹ ජාතික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් බවයි ‍වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් මේ වන විට දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම තවත් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගෙන යමින් සිටින බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසුවා.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණේ ඊයේ (05) පස්වරු 1.00ට පමණයි. මෙම ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් බවට මේ වන විට තොරතුරු අනාවරණ වෙමින් පවතිනවා.

කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් "බූරු මූණා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා විසින් බන්ධනාගාරය තුළ මෙම ගැටුම මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීගමුව බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු රඳවා සිටින බවට වාර්තා වනවා. ඒ අනුව මෙම ගැටුවද මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා විසින් බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේගේ’ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුට එරෙහිව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව මොහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව ද පොලිසිය සඳහන් කළා.
නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට හා තවත් පුද්ගලයකුට පහරදී ගස් බැඳ විහාරයේ දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මෙම පුද්ගලයාට එරෙහිව 2016 වසරේදී නාරම්මල අධිකරණයේ නඩුවක්ද පැවැති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුව අද (06) මීගමුව බන්ධනාගාරයේදී සිදුවන අතරතුර තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ පවතින ඖෂධ ගබඩාව කඩා එහි තිබූ වේදනානාශක පානය කිරීමටද පියවර ගෙන තිබූ අතර ඔවුන් බන්ධනාගාරයේ කාර්යාලයේ ඉඹි යතුරු කඩා එහි තිබූ උපකරණවලටද හානිකර තිබු බවයි වාර්තා වන්නේ.

මෙම ගැටමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනකු මරුමුවට පත්ව ඇති අතර තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වුණා.

මෙම සිද්ධියෙන් ඊයේ (05) දිනයේදී මියගියේ රැඳවියන් දෙදෙනෙක්. ඒ, නාත්තන්ඩිය අශෝකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ගයාන් සම්පත් නමැත්තා සහ මීගමුව - බෝලවලාන ප්‍රදේශයේ පදිංචිව සිටි රැඳවියෙක්.

මේ අතර ඊයේ (05) රාත්‍රියේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි රැඳවියන්ගේ ඥාතීන් එම ස්ථානයේ නොසන්සුන් ලෙස හැසිරුණා.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක අප කළ විමසීමකදී සඳහන් කළා.

මේ වන විට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් මීගමුව බන්ධනාගාරය තුළට ගොස් තත්ත්වය සමතයකට පත් කිරීමට පියවර ‍ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes