General07 July 2026

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ උත්සාහයට එරෙහිව එක්වන්න - නාමල් රාජපක්ෂගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හදිසි ලිපියක්

හිතුවක්කාරි අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හරහා සිදුවන නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂ එක්විය යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

අද (07) දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මඟින් නාමල් රාජපක්ෂ පෙන්වා දෙන්නේ, කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි.

මෙම ක්‍රියාව රටේ නීතියේ ආධිපත්‍යයට මෙන්ම මව්බිමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කරන්නක් බව ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

මෙම වයස් සීමාව දීර්ඝ කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය දැනටමත් සිය අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති බවත් එම ලිපියෙහි සඳහන්.

පවතින මෙම බැරෑරුම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කැඳවා විශේෂ රැස්වීමක් සංවිධානය කරන ලෙස නාමල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිරින්නේ.

එමෙන්ම, මේ වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම දේශපාලන පක්ෂවල නායකයින් මෙන්ම මේ සඳහා සුදුසු යැයි හැඟෙන අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් ද මෙම සාකච්ඡාව සඳහා කැඳවීම සුදුසු බවත්, මෙම වැදගත් කරුණ කෙරෙහි විපක්ෂ නායකවරයාගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලිපිය අවසන් කරමින් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes