General08 July 2026

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ

අංගෙඩ කැලිණිමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගනු ලැබූවැයි කියන රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහන තුනක් සම්බන්ධයෙන් ක්‍රියාවිරහිත කිරීමේ (තහනම් කිරීමේ) නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (08) නිකුත් කර තිබෙනවා.

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

කැලණිමුල්ල උතුර, අංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් සැකකාරියගේ සහ ඇගේ සමීපතමයෙකුගේ නමින් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ත්‍රීරෝද රථ දෙකක් මිලදී ගෙන ඇති බවයි.

ඊට අමතරව සැකකාරියගේ පුත්‍රයාගේ නමින් රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා බස් රථයක් ද මිලදී ගෙන ඇති බව හෙළි ව ඇතැයි ද පැවසෙනවා.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, අදාළ දේපළ සම්බන්ධයෙන් ලබන 14 වැනිදා දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes