General09 July 2026

මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන උස්වැටකෙයියාව සහ වත්තල ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු දේපල ක්‍රියාවිරහිත (තහනම්) කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබෙනවා.

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකාරිය විසින් උස්වැටකෙයියාව, පුබුදුගම ලිපිනයේ පිහිටි පර්චස් 20ක ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 05ක වටිනාකමකින් යුත් සුඛෝපභෝගී දෙමහල් නිවස මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් ඉදිකර ඇති බවයි.

මීට අමතරව ඇය විසින් වත්තල, නුගපේ, කුංජාවත්ත ලිපිනයේ පිහිටි පර්චස් 9.5ක ඉඩමක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා නිවස සහ කඩ කාමරය ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින්ම ඉදිකර ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පෙලිසිය පවසනවා.

ඒ අනුව අදාල දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම දේපල ඊයේ (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට (තහනම් කිරීමට) නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම වංචනික දේපලවල හිමිකාරිය වන සැකකාරිය මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes