General10 July 2026

කතරගම පාද යාත්‍රා බැතිමතුන් කුමන පිවිසුමේ දැඩි අසීරුවක

ඓතිහාසික කතරගම පුදබිම බලා පාද චාරිකාවෙන් ගමන් ගන්නා දස දහසකට අධික බැතිමතුන් පිරිසක්, මූලික පහසුකම් කිසිවක් නොමැතිව ඔකද දේවාල භූමියේ මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වනවා.

කුමන ජාතික වනෝද්‍යාන පිවිසුම අසල පිහිටි ඔකද දේවාල පරිශ්‍රයේ රැඳී සිටින මෙම බැතිමතුන් සඳහා වනෝද්‍යාන පිවිසුම විවෘත කිරීමට නියමිතව ඇත්තේ (10) වැනිදා උදෑසනයි.

එතෙක් එහි රැඳී සිටීමට සිදුව ඇති බැතිමතුන්ට අවම වශයෙන් වැසිකිළි යාමට හෝ ජල පහසුකම් සලසා නොමැති බවයි අප වාර්තාකරු පවසන්නේ.

බැතිමතුන් චෝදනා කරන්නේ එහි පිහිටි වැසිකිළි භාවිත කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 30 බැගින් අය කිරීමට කටයුතු කර තිබූ බවයි.

එසේ මුදල් අය කළද, මේ වනවිට එම වැසිකිළිවලට වතුර බිඳක් හෝ නොමැති කමින් විශාල පිරිසක් වැසිකිළි අවශ්‍යතා සඳහා කැලෑ වැදීමට පටන් ගෙන තිබෙනවා.

වනෝද්‍යාන සීමාව අසල පිහිටි මෙම ප්‍රදේශයේ ජල හිඟය නිසා බැතිමතුන් කැලෑවට යාමට සිදුවීම තුළ, වන සතුන්ගෙන් එල්ල විය හැකි අනතුරු හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි එහි සිටින පිරිස පවසන්නේ.

මෙවැනි දස දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්වන ස්ථානයක මූලික පහසුකම් සොයා බැලීමට ප්‍රාදේශීය සභාවේ හෝ වෙනත් කිසිදු වගකිවයුතු ආයතනයක නිලධාරියෙකු එම ස්ථානයේ නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes