General10 July 2026

''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර

කොළඹ නගරයේ වේගවත් සංවර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අපවිත්‍ර වෙමින් පවතින බේරේ වැව පිරිසිදු කිරීම සහ ඉන් හමන දැඩි දුර්ගන්ධය මැඩපැවැත්වීම සඳහා මේ වන විට විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් සක්‍රීය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

කෙසේ වුවද, බේරේ වැව මුළුමනින්ම පිරිසිදු කර එය යහපත් ජල මූලාශ්‍රයක් බවට පත් කිරීමේ සමස්ත වගකීම රජයට හෝ කිසියම් නිල ආයතනයකට පමණක් පැවරිය නොහැකි බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සඳහා සමස්ත මහජනතාවගේ සෘජු සහයෝගය අත්‍යවශ්‍ය බවයි අවධාරණය කරන්නේ.

නාගරික වැසියන් සහ ව්‍යාපාරිකයින් තමන්ගේ දෛනික අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කරමින්, මෙවැනි ජල මූලාශ්‍රයන්ට හානි නොවන අයුරින් වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම්, පිරිසිදු බේරේ වැවක් මෙන්ම හරිතවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික ගමනට සැමට සක්‍රීයව දායක විය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ෆේස්බුක් සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ..

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්පුර්ණ සටහන පහතින්.

"පහුගිය කාලෙම දැඩි කතාබහකට ලක් වුන බේරේ වැවේ ප්‍රශ්නයේ දැන් තත්වය මොකක්ද ??? ඒ ආපු දුර්ගන්ධය අවසන්ද ??

අවුරුදු ගනාක් තිස්සේ නගරය වේගයෙන් සංවර්ධනය වෙනවත් එක්ක බේරේ වැව අවට සිදුවූ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපද්‍රව්‍ය, අපජලය සහ නාගරික කුණු මේ බේරේ වැවට එකතු වෙන්න පටන් ගත්තා ...! ඒ නිසා කාලයක් තිස්සේ බේරේ වැව ටිකෙන් ටික අපවිත්‍ර වෙන්න පටන් ගත්තා වගේම ඇල්ගී සහ සයනොබැක්ටීරියා පැතිරෙන්න පටන් ගත්ත නිසා වැවේ තිබුණු ලස්සන පෙනුමත් නැති වෙලා ගියා....!

මේ තත්ත්වය පරිසරයට විතරක් නෙවෙයි, බේර වැව අවට ජීවත් වෙන ජනතාවටත් කොළඹට එන යන ජනතාවටත් විවිධ ගැටලු ඇති කරන හේතුවක් වෙලා තියෙනවා......!

මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න බේරේ වැවේ සංවර්ධන කටයුතු සිදුකරන ආයතනවලට පැවරුණා. බේරේ වැවේ අයිතිය සහ නඩත්තු කටයුතු භාරව හිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට වුණත්, වැවේ ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට භාර දීලා තිබුණා....!

ඒ වගකීම අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බේරේ වැවේ තැන් 35ක ජලයේ තත්වය පරීක්ෂා කළා....! ඒ පරීක්ශනවල ප්‍රතිඵලයක් විදියට නයිට්‍රජන්, පොස්පරස්, ඇමෝනියා වගේ අහිතකර ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක තිබුණු බව දැනගන්න ලැබුනා....!

ඒ වගේම වතුරේ ඔක්සිජන් ප්‍රමාණයට බලපාන දූෂක ද්‍රව්‍යත් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙන බවත් අනාවරණය කරගන්න පුලුවන් වුනා.....! මේ තත්වයෙන් අපිට තේරුම් ගන්න පුලුවන් බේරේ වැව බරපතළ විදිහට දූෂණය වෙලා කියලා.....!

ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පාවෙන කුණු සහ සුන්බුන් ඉවත් කිරීම්, ජලජ වල් පැළෑටි ඉවත් කිරීම්, වැව් ඉවුරු පිරිසිදු කිරීම්, වතුරේ තත්ත්වය නිතර පරීක්ෂා කිරීම සහ දූෂණයට හේතු හඳුනා ගැනීම වගේ ක්‍රියාකාරයකම් බේරේ වැව ආශ්‍රිතව සිදු කිරීම ආරම්භ කළා.....!

ඒ වගේම ගංගාරාමය ආසන්න නිරිත දිග ප්‍රදේශයේ බේරේ වැවේ එකතු වෙලා තිබුණු රොන්මඩ ඉවත් කිරීමත් මේ වෙනකොට සිදු කරගෙන යනවා....! ඒ හරහා නඩත්තු කටයුතු වඩාත් පහසුවෙන් කරන්න, බෝට්ටු ගමනාගමනයට පහසුකම් සලසන්න වගේම වතුර හොඳින් සංසරණය වෙන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා....!

මොන දේ උනත් බේරේ වැව පිරිසිදු කරලා හොඳ ජල මූලාශ්‍රයක් බවට පත් කරන වගකීම රජයට හරි,වෙන ආයතනයකට හරි විතරක් භාර දෙන්න බෑ...! ඒකට අපි හැමෝගෙම සහයෝගය අත්‍යවශ්‍යයි...! අපේ අපද්‍රව්‍ය හරි විදිහට බැහැර කරලා, ජල මූලාශ්‍රයට හානී නොවෙන විදිහට කටයුතු කළොත්, පිරිසිදු බේරේ වැවක් වගේම පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන ගමනට අපි හැමෝටම දායක වෙන්න පුළුවන්...!"
Related recommendation
Hiru TV News | Programmes