General12 July 2026

වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි

තංගල්ල, මාවැල්ල වෙරළ තීරයේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ (11) පස්වරුවේ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස දියෙහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, ගොඩැල්ලවෙල පදිංචිව සිටි ජුවානා හැන්නදිගේ චමිදු දිල්ෂාන් නමැති දහනව හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා ඉකුත් (09) වැනිදා දහවල් කාලයේදී තංගල්ල මාවැල්ල වෙරළ තීරයේ බිලී පිත්තක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිට ඇති අතර, එහිදී හදිසියේ පැමිණි ප්‍රබල රළ පහරකට හසුව ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළද ඔහුව සොයා ගැනීමට හැකි වී නැත.

කෙසේ වෙතත්, ඊයේ (11) පස්වරුවේ මාවැල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබූ තරුණයාගේ සිරුර මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශයේ ධීවරයන් පිරිසක්.

මෙම දියෙහි ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes