General13 July 2026

ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග

පවතින ආර්ථික සහ සමාජයීය තත්ත්වයන් හේතුවෙන් මෙරට තරුණ පරපුර විවාහ වීම සහ දරුවන් ලැබීම ප්‍රමාද කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනගහන විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා ජනගහන සංගමයේ සභාපති මනෝරි කළුතන්තිරි වීරතුංග පවසනවා.

2026 ලෝක ජනගහන දිනය නිමිත්තෙන් ලිපියක් සකස් කරමින් ඇය පෙන්වා දෙන්නේ, මෙය පවුල් ජීවිතය ප්‍රතික්ෂේප කිරීමක් නොව වත්මන් ආර්ථික වටපිටාව හමුවේ තරුණ ප්‍රජාව දක්වන ප්‍රතිචාරයක් ලෙස වටහා ගත යුතු බවයි.

ශ්‍රී ලංකාව මේ වන විට උපත් අනුපාතිකය පහළ යෑම, ජනගහනය වයස්ගත වීම, තරුණ සංක්‍රමණය ඉහළ යෑම සහ පවුල් රටාවන් වෙනස් වීම වැනි කැපී පෙනෙන ජනගහන විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටින බවද මහාචාර්යවරිය සඳහන් කරනවා.

ජීවන වියදම ඉහළ යෑම, රැකියා අනාරක්ෂිතභාවය, දැරිය හැකි මිලකට නිවාස නොමැතිකම සහ වෘත්තීයමය පීඩනය වැනි කරුණු තරුණ පරපුරේ විවාහ සහ දරු උපත් පිළිබඳ තීරණ කෙරෙහි ඍජුවම බලපා ඇති බවයි සඳහන්.

බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට හෝ දෙමාපියන් වීමට පෙර මූල්‍ය ස්ථාවරත්වය, සුරක්ෂිත රැකියා, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන බවත්, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූවක් නොව ගෝලීය සමාජ-ආර්ථික වෙනස්වීම්වල පිළිබිඹුවක් බවත් ඇය පෙන්වා දෙනවා.

අධ්‍යාපන අවස්ථා පුළුල් වීම, කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ යෑම, සංක්‍රමණය සහ පවුල් මනාපයන් වෙනස් වීම වැනි කරුණු රැසක් මත මෙම උපත් අනුපාතිකයේ අඩුවීම තීරණය වන බැවින්, එය ක්ෂණික අර්බුදයක් ලෙස දැකීමට වඩා පුළුල් ජනගහන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ විමසා බැලිය යුතු බවද මහාචාර්ය මනෝරි වීරතුංග අවධාරණය කරනවා.

එබැවින් තරුණ පරපුර වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක්, යහපත් රැකියා අවස්ථා, දැරිය හැකි නිවාස, සෞඛ්‍ය පහසුකම් සහ පවුල් ජීවිතයට හිතකර සේවා පරිසරයක් නිර්මාණය වන පරිදි ප්‍රතිපත්ති සකස් විය යුතු බවත්, එය ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් වනු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes