General14 July 2026

හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි

මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව අනාවරණ වී තිබෙනවා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව අනුවයි.

2025 වසරේ නොවැම්බර් සහ 2026 වසරේ ජනවාරි අතර කාලයේදී Export Finance Australia ආයතනය වෙත විදේශ ණය ප්‍රතිපූරණය කිරීමේදී සිදු වූ සයිබර් අපරාධයෙන් මහා භාණ්ඩාගාරයට සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක පාඩුව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම වාර්තාවේ අන්තර්ගතය අනුව මේ පිළිබඳව තවත් කරුණු රැසක් හෙළිදරව් වනවා.

ශ්‍රී ලංකා මහ බැකුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රතිලාභියෙකුට ගෙවීමක් කරන බව නිරීක්ෂණය කර ඇති අතර එම ලිපිනය Export Finance Australia ලිපිනයට නොගැළපෙන බවත්, මුදල් විශුද්ධිකරණ ගැටලු පිළිබඳව අනතුරු ඇඟවූ බවත්, ණයහිමියා සමඟ ගිණුම් විස්තර නැවත තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා මහ
බැකුව 2025 නොවැම්බර් මස 26 වැනිදා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

අනතුරුව අමාත්‍යාංශය නීත්‍යානූකූල ණයහිමියාට එම ගිණුම් විස්තර යවා තහවුරු කරගැනීම වෙනුවට වංචනික පාර්ශ්වයටම විද්‍යුත් තැපෑලක් යවා එම වංචාකරුගෙන්ම බැංකු තොරතුරු තහවුරු කරගෙන ඇති බව සඳහන්.

කමිටු වාර්තාවට අනුව කිසිවෙකු මුදල් ප්‍රතිලාභීන්ගේ නම් ගළපා නොමැති බව පෙනී යන බවත් ශ්‍රී ලංකාව අබුඩාබිහි බැංකුවක Mish Global LLC, LMH Global LLC සහ Sifra Watan Project Management Services වෙත ස්වෛරී ණය ගෙවීම් සිදු කර තිබෙන බවත් අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම ඒ සෑම ප්‍රතිලාභියෙක්ම Australias export credit agency ලෙස පෙනී සිට ඇති අතර ඒ අනුව එවැනි ආයතනයකට මුදල් ගෙවනු ලබන්නේ ඇයිදැයි ඇසීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

වාර්තාව අනුව, 2026 ජනවාරි මස 6 වැනිදා ජේ.පී. මෝර්ගන් වංචා වැළැක්වීමේ කණ්ඩායම ඉන්දියාවේ අපනයන - ආනයන බැංකුවට ( EXIM Bank of India) සිදුකරන ශ්‍රී ලාංකික ගෙවීමක් වංචනික විය හැකි බවට අනතුරු අඟවා එය නවතා තිබෙනවා.

අනතුරුව ඉන් දින තුනකට පසු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වංචාකාරී ඩොමේන් නාමයක් දක්වමින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයටත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ඉන් දින එකොළහකට පසු එනම් ජනවාරි මස 20 වැනිදා ශ්‍රී ලංකාව Mish Global LLC වෙත තවත් ඩොලර් නවලක්ෂ අනූහත් දහසක් හත්සිය අනූ නවයක මුදලක් ගෙවා තිබෙනව බව ද වාර්තාවේ පෙන්වා දෙනවා.

මේ අතරම අමාත්‍යාංශ නිලධාරීන් සැබෑ ණයහිමියා වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

ණය වාරිකය ගෙවීම ජනවාරි මස මුල් සතියේ තිබුණද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පත් හිඟවීම නිසා එය ප්‍රමාද වී තිබේ.

එබැවින් මුදල් පිටතට ගොස් ඇති බව අමාත්‍යාංශය විශ්වාස කළද යමෙකු ඕස්ට්‍රේලියාවට ආයාචනා කරමින් තවත් කාලයක් ඉල්ලා සිට ඇති බව වාර්තාව මඟින් පෙන්වා දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes