General15 July 2026

පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා පොලිසියේ නාමය අවභාවිත කරමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් දඩ මුදල් ගෙවන ලෙස පවසමින් මහජනතාව නොමඟ යවන සුළු ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) ලැබෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම වංචනික ක්‍රියාව පසුගිය දින කිහිපය පුරා මෙරට ජංගම දුරකථන පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම සංවිධානාත්මක වංචාකරුවන් කණ්ඩායම විසින් රජයේ නිල 'GovPay' වෙබ් අඩවියට බෙහෙවින් සමාන අතුරුමුහුණත් සහිත ව්‍යාජ වෙබ් අඩවි (Phishing Websites) නිර්මාණය කර ඇති අතර, එමගින් මහජනතාව මුලා කර ඔවුන්ගේ බැංකු කාඩ්පත් සහ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරනු ලබනවා.

රජයේ නිල GovPay වෙබ් අඩවියේ නිවැරදි ලිපිනය වන්නේ govpay(dot)lk හෝ govpay(dot)lk/en/ වන අතර, රජයේ සියලුම නිල වෙබ් අඩවි සැමවිටම රජයේ නිල gov(dot)lk ඩොමේන් නාමය යටතේ ක්‍රියාත්මක වෙනවා.

නමුත් මෙම වංචාකරුවන් විසින් එවනු ලබන කෙටි පණිවිඩ තුළ 998809(dot)help/govpay/lk වැනි සම්පූර්ණයෙන්ම වෙනස් සහ දැඩි ලෙස සැකකටයුතු ව්‍යාජ අන්තර්ජාල ලිපින (Links) අඩංගු වන බව අනාවරණය වී තිබෙනවා.

එවැනි ව්‍යාජ සබැඳි වෙත පිවිසී තම බැංකු කාඩ්පත්වල රහස්‍ය අංක (CVV/CVC), මුදල් ගනුදෙනු සඳහා ලැබෙන එක්වරක් පමණක් භාවිත කරන රහස්‍ය කේත (OTP) හෝ වෙනත් සංවේදී පුද්ගලික දත්ත ඇතුළත් කිරීමෙන් තම බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීමේ දැඩි අවදානමක් පවතින බව තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙනවා.

එබැවින්, කෙටි පණිවිඩ (SMS) මඟින් ලැබෙන ඕනෑම අන්තර්ජාල සබැඳියක් (Link) මත ක්ලික් කිරීමට පෙර, මොහොතක් නතර වී එහි විශ්වාසනීයත්වය සහ URL ලිපිනය හොඳින් පරීක්ෂා කර බලන ලෙසත්, කිසිදු හේතුවක් මත තහවුරු නොකළ වෙබ් අඩවි වෙත තම බැංකු තොරතුරු හෝ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes