General16 July 2026

මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි

මීගමුව බන්ධනාගාර ගැටුම පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR යන්ත්‍ර මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් වන නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියේ බන්ධනාගාරයේ CCTV කැමරාවල DVR යන්ත්‍ර පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කර ඇති බවයි.

බන්ධනාගාරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් අපරාධ ස්ථානය පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඩ්‍රෝන පරීක්ෂණයක් සිදු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මීගමුව බන්ධනාගාර ගැටුමේදී මිය ගිය සංජු දිල්රුක්ෂාන් නැමැත්තාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම පසුගිය 11 වැනි දින මාලිගාකන්ද අධිකරණයේදී සිදුකළ බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මියගිය සංජු දිල්රුක්ෂාන් නැමැත්තාගේ සිරුරෙන් සොයාගත් ගත් උණ්ඩ කොටසක්, ඇඳුම් හා රුධිර සාම්පල අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එම භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස සුරැකිව නඩු භාණ්ඩ කාමරයේ තබන ලෙසයි මීගමුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් 10ක් හා රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේද නඩු කටයුත්තක් පැවැත්වීමට නියමිත බැවින් එකම සිදුවීමකට අදාළව නඩු විභාග දෙකක් පවත්වා දඬුවම් නියම කිරීම නොසුදුසු බැවින් එම නඩු කටයුත්ත අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළේ ඊට බන්ධනාගාර පනත ප්‍රකාරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බලය ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනයේදී නියෝගයක් නිකුත් කරන බවයි.

මිය ගිය රැඳවියන් වන දනිඳු හස්මික , හර්ෂ ප්‍රියංකර , සම්පත් පුෂ්පකුමාර යන අය වෙනුවෙන් අද දින ඔවුන්ගේ ඥාතීන්ගේ 5 දෙනෙකු සාක්ෂි ලබාදීම සිදු කළා.

එහිදී අදාළ රැඳවියන් බන්ධනාගාර ගත වූ හේතුව , බන්ධනාගාර ගත වූ දිනය මෙන්ම ඔවුන්ගේ සිරුරු හඳුනාගත් බවත්, ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකළ ස්ථාන පිළිබඳවත් ගරු මහේස්ත්‍රාත්වරිය හමුවේ සාක්ෂිකරුවන් කරුණු දැක්වූවා.

ඊට අමතරව කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු හා එක් රැඳවියෙකුගේ මරණ පරීක්ෂණ වාර්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළා.

කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය නඩුව එළැඹෙන 23 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළා.

අනතුරුව යළිත් වරක් ප්‍රශ්නයක් යොමුකරමින් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් විමසා සිටියේ එදිනට බන්ධනාගාර නිලධාරීන් කැඳවීමට අවශ්‍යද යන්නයි.

ඊට පිළිතුරු දුන් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කැඳවිය යුතු අතර ඊට පෙර මිය ගිය අයගේ මෘත ශරීර හඳුනා ගැනීමට අදාළ සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ රැඳවියන්ගේ වෛද්‍ය වාර්තා හා අධිකරණ වාර්තා කැඳවීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දුන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ, එම ඉල්ලීම සම්බන්ධ නියෝගය ජූලි 9 වැනි දින නිකුත් කර ඇති බවත් ,එහි පිටපත් බන්ධනාගාර කොමසාරිස්වරයාටද යොමු කර ඇති බවයි.

වෙනත් බන්ධනාගාර වෙත යොමුකර ඇති රැඳවියන්ගේ සම්පූර්ණ වාර්තාවක් තම අධිකරණය විසින් ඉල්ලා ඇති අතර, එම සම්පූර්ණ වාර්තාව අද දින අධිකරණයට ඉදිරිපත් කරන්නේද යන්ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටිිියේ, අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, සංඛ්‍යාත්මක වාර්තාවක් වන අතර සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනයේදී ඉදිරිපත් කරන බවයි.

අනතුරුව සියලු කරුණු සළකා බැලූ අධිකරණය මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශනයේ ප්‍රගතිය සහ වැඩිදුර සාක්ෂි විමසීම එළැඹෙන 23 වැනිද දක්වා කල් තැබුණා.
Related recommendation
Hiru TV News | Programmes