General17 July 2026

බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරුන්, ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී වත්මන් බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එවැනි අශෝභන හෝ නීති විරෝධී සිදුවීම් යළි බන්ධනාගාර පද්ධතිය තුළ ඇති නොවීම සඳහා ගතයුතු දැඩි පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා සහ නිලධාරීන් අතර සාකච්ඡා වී තිබෙනවා.

මීට අමතරව, බන්ධනාගාර නිලධාරීන් මුහුණ පා සිටින වෘත්තීය ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවයි එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes