International24 July 2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතාවයට ටෙන්ඩුල්කාර්ගේ සහ ආලියාගේ සහය

අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි විරෝධතාවලදී පොලිස් ප්‍රහාරයන්ට ලක්වූ සිසුන්ට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර් සහ ඉන්දීය රංගන ශිල්පී ආලියා භාත් සහය පළ කර තිබෙනවා.

''තම මහන්සියේ තරමට නිසි ඇගයීමක් නොලැබීම ගැන සිසුන් කළකිරීමට පත්වීම සාධාරණයි. ඔවුන්ට නැවත කිසිදිනෙක මෙවැනි හැඟීමක් ඇති නොවීමට වගබලා ගැනීම වෙනුවෙන් අපි සැවොම සාමූහිකව කටයුතු කළ යුතුයි.'' යනුවෙනුයි නිවේදනයක් නිකුත් කරමින් සචින් ටෙන්ඩුල්කාර් සඳහන් කර ඇත්තේ.

එසේම ඔහු සඳහන් කර ඇත්තේ, තම පියා මහාචාර්යවරයෙක් බවත්, ඔහු තමන් කුඩා කාලයේදීම ඉගැන්වූ එක් පාඩමක් වූයේ, 'අසමත් වීම ප්‍රශ්නයක් නැත, නමුත් වංචා කිරීම සුදුසු නැත. කිසිවිටෙකත් කෙටි මාර්ග තෝරා නොගන්න' යන්න බවත්.

''තම අයිතීන් වෙනුවෙන් නොසැලී සිටින සෑම සිසුවෙකු පිටුපසම ඇත්තේ සිහිනයක්, පවුලක බලාපොරොත්තුවක් සහ අප්‍රමාණ කැපකිරීම් පිරුණු ගමනකි. ඔවුන් නියෝජනය කරන්නේ තමන්වම පමණක් නොවේ. තමන්ට සහය දුන් සෑම දෙනාම මෙන්ම, තමන්ගෙන් පසු පැමිණෙන පරම්පරාව වෙනුවෙන් වඩා යහපත් මගක් තනන්නන්වද ඔවුන් නියෝජනය කරයි.'' යනුවෙනුයි රංගන ශිල්පී ආලියා භාත් පවසා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes