General24 July 2026

"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ වෙනත් කිසිදු රටකට නොදෙවෙනි, ධර්මයෙන් එකිනෙකට බැඳුණු සදාතනික හා ශිෂ්ටාචාරමය සහෝදරත්වයේ සබඳතාවයක් බවත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ වචනය අන්තර්ගත පාළි භාෂාව සහ බෞද්ධ උරුමය සුරැකීම වෙනුවෙන් ඉන්දියාව සදහටම කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
පවසනවා.

මහ කොමසාරිස්වරයා මේ බව පැවසූයේ "ශ්‍රී ලංකාවේ පාළි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම: පුනර්ජීවනය සහ ගෝලීය සම්බන්ධතා සඳහා උපාය මාර්ගික මාර්ග සිතියමක්" යන තේමාව යටතේ පැවැති විශේෂ සම්මන්ත්‍රණය අමතමින්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ දෙරට "ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" ලෙස හැඳින්විය හැකි බවයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනින් ආරම්භ වූ මෙම සබඳතාවය හුදෙක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමකට එහා ගිය අධ්‍යාත්මික බැඳීමක් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

තමන් සිද්ධස්ථාන රැසක් පිහිටි පුරාණ පාටලීපුත්‍ර (වර්තමාන පැට්නා - බිහාර්) භූමියේ උපත ලබා හැදී වැඩුණු අයෙකු ලෙස, බුදුදහම සහ පාළි භාෂාව සුරැකීමේ කාර්යයට දායක වීම පෞද්ගලික ධර්මතාවයක් සහ ඉරණමේ කොටසක් ලෙස සලකන බවයි ඔහු පවසා සිටියේ.

2024 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය රජය විසින් පාළි භාෂාවට "සම්භාව්‍ය භාෂාවක" තත්ත්වය පිරිනැමූ බව සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, එම තීරණයෙන් පසු පාළි භාෂාවේ වැදගත්කම පිළිබඳව ප්‍රථමයෙන්ම සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ බවත්, ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ විශේෂ ඇගයීම හිමි වූ බවත් සඳහන් කර සිටියා.

දැනට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ලබාදී ඇති සමස්ත සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5 ඉක්මවා ඇති අතර, ඊට ඩොලර් මිලියන 850 කට අධික පූර්ණ ප්‍රදානයන් ඇතුළත්.
Related recommendation
Hiru TV News | Programmes