General24 July 2026

පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක්: 15ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්රදේශයේ පිහිටි ආරක්ෂක මුරපොලකට ත්රස්තවාදීන් විසින් පුපුරණ ද්රව්ය පිරවූ රථයක් ධාවනය කරවා එල්ල කළ බෝම්බ ප්රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (24) පාකිස්ථාන හමුදාවේ මාධ්ය අංශය නිවේදනය කළේ, ටෑන්ක් (Tank) දිස්ත්රික්කයේ පිහිටි මුරපොලකට එල්ල වූ මෙම ප්රහාරයෙන් හමුදා සෙබළුන් 12 දෙනෙකු, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු රජයේ නිලධාරියෙකු මියගිය බවයි.

ත්රස්තවාදීන් විසින් පුපුරණ ද්රව්ය සහිත රථය මුරපොලෙහි ආරක්ෂිත බැම්මේ ගැටීමට සලස්වා ඇති අතර, ප්රබල පිපිරීම හේතුවෙන් එම ස්ථානයේ තිබූ ගොඩනැගිලි සහ සන්නිවේදන යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වී තිබෙනවා.

ප්රහාරය එල්ල වන අවස්ථාවේදී ක්රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්රතිප්රහාර හමුවේ ත්රස්තවාදීන් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes