General03 August 2026

රත්නපුරට මහ වැසි - කළු ගඟේ ජල මට්ටම ඉහළට; ප්‍රධාන මාර්ගයක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මේ වන විට රත්නපුර කළු ගඟේ පුළුගුපිටියේ ජලමාපකය මඟින් දැක්වෙන ජල මට්ටම අඩි හයේ සීමාවූ පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බවයි.

පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුද්දුව සහ ඇත්ඔය යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

විශේෂයෙන්ම රත්නපුර - අළුපොත ප්‍රධාන මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මීට අමතරව, මුද්දුව පොදු සුසාන භූමිය සහ ඒ අවට පහත් බිම් ද ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස කිහිපයකට ද ගංවතුර තර්ජන එල්ල වී තිබෙනවා.

දැනටත් රත්නපුර ප්‍රදේශය වැහි අන්ධකාරයෙන් ගිලී පවතින අතර, කඩින් කඩ මහ වැසි ඇද හැලෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes