General03 August 2026

පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්

දඹුල්ල ප්‍රදේශයේ පැයක කාලයක් තුළ සිදුවූ රිය අනතුරු තුනක් හේතුවෙන් මවක් සහ දියණියක් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

අද (03) දින දඹුල්ල මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී පළමු අනතුර සිදුවූ අතර, මාතලේ දෙසින් දඹුල්ල උසාවිය දෙසට යතුරුපැදියකින් යමින් සිටි මවක් සහ දියණියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

අනතුර හේතුවෙන් ලොරි රථය දඹුල්ල පොලිසිය ඉදිරිපිට කානුවකට වැටී ඇති අතර, ඉදිරියේ වූ එහි වූ පොලිස් දැන්වීම් පුවරුවකට ද හානි වී තිබුණා.

මෙම අනතුර සිදුවී විනාඩි පහකට පමණ පසු, දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ජලාශ හන්දියේදී දෙවන අනතුර වාර්තා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයකු මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ඔහුද දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
පසුව, දඹුල්ල නගරය මධ්‍යයේ පිහිටි දඹුල්ල - කැකිරාව බස් නැවතුම් ස්ථානය අසලදී තෙවන අනතුර සිදුව තිබුණා.

එහි නවතා තිබූ ලොරි රථයක පිටුපස බස් රථයක් ගැටීමෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධීන් සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes