International13 August 2026

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරොලයින් ලීවිට් මෙම මස අවසානයේ සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප් සිය Truth Social ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, ලීවිට් පවුලේ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් සිය වගකීමෙන් ඉවත්වන බවයි.

ධවල මන්දිරයේදී ලීවිට් විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ඇය යුක්තිය, නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ බවත්, ට්‍රම්ප් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ධුරයෙන් ඉවත්වීමෙන් පසුවද ඇය තම ප්‍රධාන බාහිර උපදේශකවරියක ලෙස කටයුතු කරන අතර, රිපබ්ලිකන් පක්ෂය තුළ බලපෑම් සහගත හඬක් ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇති බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

27 හැවිරිදි ලීවිට්, ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය ආරම්භයේදී ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත්වූයේ එම තනතුරට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙසයි.

ඇය මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ධවල මන්දිරයේ සහකාර මාධ්‍ය ලේකම්වරියක ලෙස කටයුතු කර තිබුණා.

2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රකාශිකාවක ලෙස කටයුතු කළ ඇය, 2025 වසරේ ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත් වුණා.

ධවල මන්දිරයේ මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් සමග දැඩි ලෙස අදහස් හුවමාරු කරගැනීම හේතුවෙන්ද ලීවිට් අවස්ථා කිහිපයකදී අවධානයට ලක්ව තිබෙනවා.

මේ අතර, ඇයගේ ඉවත්වීම ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීම සිදුවෙමින් පවතින පසුබිමක සිදුවීම විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes