International12 August 2026

අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි

පසුගිය 2025 වසරේදී සිදු කළ අමෙරිකානු හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් 153 දෙනෙකු මියගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා.

අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම සියලු මරණ සහ තුවාල වාර්තා වී ඇත්තේ යේමනයේ සන්නද්ධ කණ්ඩායමකට එරෙහිව සිදු කළ ගුවන් ප්‍රහාර තුනකට අදාළවයි.

2025 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රතු මුහුදේ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් අමෙරිකාව යේමනයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පෙන්ටගනයේ තක්සේරුවට අනුව, අප්‍රේල් 6 වැනිදා සනා නගරය ආසන්නයේ සිවිල් වැසියන් පස් දෙනෙකු මියගොස් ඇති බවට වැඩි ඉඩකඩක් පවතින අතර, අප්‍රේල් 17 වැනිදා රාස් ඉසා වරාය ආසන්නයේ 80 දෙනෙකු සහ අප්‍රේල් 28 වැනිදා සාඩා ප්‍රදේශයේ තවත් 68 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත්, මෙම තක්සේරු කිරීම් සිදු කිරීමේදී අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල වූ ස්ථාන වෙත ගොස් පරීක්ෂා කිරීම් හෝ පුද්ගල සම්මුඛ සාකච්ඡා සිදු කර නොමැති බව සඳහන්.

ඒ වෙනුවට අමෙරිකානු බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ අනෙකුත් ඡායාරූප මෙන්ම ප්‍රසිද්ධියේ පළ වූ වාර්තා භාවිත කර තිබෙනවා.

එමෙන්ම, පෙන්ටගනයේ නව වාර්තාවට ඇතුළත් නොවූ තවත් සිද්ධීන් 15ක් පිළිබඳව ද විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තාව සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, කැරිබියානු මුහුදේ සහ පැසිෆික් සාගරයේ සිදු කළ බෝට්ටු ප්‍රහාරවලින් සිදුවූ මරණ මෙම වාර්තාවට ඇතුළත් කර නොමැති වීමද විශේෂත්වයක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, එම ප්‍රහාරවලින් පසුගිය වසරේ පුද්ගලයන් 120කට පමණත්, මේ වසරේ තවත් 95කට පමණත්, හානි සිදුවී ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු රජය සඳහන් කර ඇත්තේ, එම බෝට්ටු ප්‍රහාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් සිදුකරන මෙහෙයුම් බවයි.

එහෙත් ඇතැම් නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රහාර ජාත්‍යන්තර නීතියට පටහැනි අධිකරණයෙන් බැහැර ඝාතන ලෙස සැලකිය හැකි බවයි.

2018 වසරේ සිට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට පෙර වසරේ හමුදා මෙහෙයුම් හේතුවෙන් සිදුවූ සිවිල් හානි පිළිබඳ වාර්තා කොංග්‍රසයට ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

2023 වසරේදී අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් වාර්තා වූ සිවිල් මරණ සංඛ්‍යාව එකක් දක්වාත්, 2024දී දෙකක් දක්වාත් පහත වැටී තිබූ නමුත්, 2025දී යේමනයේ සිදු කළ ප්‍රධාන හමුදා මෙහෙයුම් හේතුවෙන් එම සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා අමෙරිකානු හමුදාව දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.

Related recommendation
Hiru TV News | Programmes