International13 August 2026

රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනය විසින් රුසියාවේ කළු මුහුදු තීරයේ පිහිටි නොවොරොසියිස්ක් වරායට එල්ල කළ බව කියන දැවැන්ත ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් එරට ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර ඇත්තේ.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ, රුසියානු නාවික කඳවුර ඉලක්ක කර ගනිමින් රොකට්, ගුවන් ඩ්‍රෝන සහ නාවික ඩ්‍රෝන භාවිතයෙන් මෙම මෙහෙයුම සිදුකළ බවයි.

යුක්‍රේන හමුදාව පසුව සඳහන් කර ඇත්තේ, රුසියානු යුද නෞකා හතරකට, එයින් ෆ්‍රිගේට් නෞකා දෙකකට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, රුසියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

රුසියානු කළු මුහුදු නාවික බලඇණියේ විශාල කොටසක් නොවොරොසියිස්ක් වරායේ රඳවා ඇති අතර, යුක්‍රේන ප්‍රහාරවල අවදානම හේතුවෙන් රුසියාවට ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් කඳවුරෙන් නෞකා ඉවත් කිරීමට සිදුව තිබුණා.

ප්‍රහාරය හේතුවෙන් නොවොරොසියිස්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වරාය ආශ්‍රිත ප්‍රදේශවල නල පද්ධතිවලට හානි සිදුවීම හේතුවෙන් ජල සැපයුම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රධාන ධාන්‍ය වෙළෙඳ සමාගම් දෙකක් සිය පර්යන්තවලට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ධාන්‍ය ප්‍රවාහන කටයුතු බෝල්ටික් හා කැස්පියන් මුහුදු වරායන් වෙත මෙන්ම ගොඩබිම් මාර්ග වෙත යොමු කිරීමට රුසියානු කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

රුසියාව ලොව විශාලතම තිරිඟු අපනයනකරුවෙකු වන බැවින්, කළු මුහුදු සහ අසෝව් මුහුදු ප්‍රදේශවල සිදුවන ප්‍රහාර හේතුවෙන් ගෝලීය ධාන්‍ය සැපයුමට බලපෑම් ඇතිවීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes