General16 August 2026

අඟුලාන නාවික අනතුර: මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

මෙම අනතුරින් අතුරුදන් වූ නාවිකයා සෙවී‍මේ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ (15) සිදුවූ මෙම අනතුරින් මුදාගනු ලැබූ නාවික හමුදා සාමාජිකයින් එකොළොස් දෙනකු මේ වන විට වැලිසර නාවික මහ රෝහලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව පවසන්නේ.

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව සඳහන් කරනවා.

එම යාත්‍රාව ගොඩ ගැනීම සඳහා අද (16) අළුයම සිටම මෙහෙයුම් ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අදාල මෙහෙයුමට බාධා එල්ලවී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවක් නාවික හමුදාවේ 12 දෙනෙකු සමග අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වුණේ ඊයේ (15) දිනයේදීයි. අනතුර සිදුවන ආකාරය දුටු පුද්ගලයෙකු එය ක්ෂණිකව අඟුලාන පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව නාවිකයින් පිරිස මුදා ගැනීමට ධීවර යාත්‍රා 03ක් අනතුර සිදු වූ ස්ථානයට යොමු කිරීමට පොලිසිය කඩිනමින් පියවර ගෙන තිබුණා.

ඒ අනුව, මෙහෙයුම් වෙනුවෙන් බෙල් 412 හෙළිකොප්ටර් යානයක් යෙදවීමට ගුවන් හමුදාව පියවර ගත් අතර අනතුර සිදු වූ ස්ථානය අවට ආවේක්ෂණ කටයුතු සඳහා එම්. අයි 17 යානයක් යෙදවීමටද පියවර ගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes