International18 August 2026

භූ කම්පනයෙන් හානි වූ කොලොම්බියානු පාසල් යළි ගොඩනැගීමට ෂකීරා පෙරමුණ ගනී

කොලොම්බියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් හානි වූ පාසල් යළි ගොඩනැගීම සඳහා සුප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ෂකීරා අමෙරිකානු ඩොලර් මිලියන 1.25ක මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

අගෝස්තු 10 වැනිදා බටහිර කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපක 7.4ක භූ කම්පනයෙන් පුද්ගලයන් සිය ගණනක් මියගිය අතර, චොකෝ පළාතේ පමණක් පාසල් 200කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

භූ කම්පනයෙන් දැඩි බලපෑමට ලක්වූ ප්‍රදේශයක් වන චොකෝ පළාතේ අගනුවර වන ක්විබ්ඩෝ වෙත ෂකීරා ඊයේ (17) හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී ඇය හානි වූ පාසල් කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර, සිසුන් සහ ගුරුවරුන් හමුවී ප්‍රදේශයේ අවශ්‍යතා පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව සඳහන්.

ෂකීරා, Live Nation ආයතනය සමග එක්ව අමෙරිකානු ඩොලර් 500,000ක් ලබාදීමට නියමිත අතර, ජාත්‍යන්තර පාපන්දු සංගමයේ Global Citizen Education Fund වෙතින් තවත් ඩොලර් 500,000ක් සහ ලතින් අමෙරිකානු හා කැරිබියානු සංවර්ධන බැංකුව වන CAF වෙතින් ඩොලර් 250,000ක් ලබාදීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.

මෙම මුදල් ෂකීරාගේ Fundación Pies Descalzos පදනම හරහා යොමු කර පාසල් යළි ගොඩනැගීම සහ දරුවන් නැවත අධ්‍යාපනයට යොමු කිරීම සඳහා භාවිත කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර, දානපති හොවාර්ඩ් බෆට් ද මෙම සංචාරයට එක්ව ඇති අතර, ඔහුගේ පදනම මගින් චොකෝ පළාතේ තවත් පාසල් 10ක් ප්‍රතිසංස්කරණය කිරීමට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් නැවත ගොඩනැගීම හදිසි සහන කටයුතු අවසන් වූ පසුවද අඛණ්ඩව සිදුකළ යුතු බව ෂකීරා අවධාරණය කර තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දරුවන් පාසල් නොයන සෑම දිනකම ඔවුන්ගේ අනාගතයෙන් දිනක් අහිමි වන බව පෙන්වා දී ඇති ඇය, තම පදනම හරහා චොකෝ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු සඳහා වසර 20කට වැඩි කාලයක් තිස්සේ සහාය ලබාදෙන බවද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, චොකෝ පළාතේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් යළි ගොඩනැගීම සඳහාද තම පෞද්ගලික උත්සාහය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ෂකීරා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes