General23 August 2026

දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව එම ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ පවසනවා.

ස්ථායිකරණ ක්‍රමවේදය මඟින් නායයෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර ග්‍රේග්ලි වතුයායේ නාය ගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශ මත සිදු කරනු ලබනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කළුගල් ලබා ගැනීමේ අපහසුතාවක් පවතින නිසා ව්‍යාපෘතියේ වැඩ කටයුතු අඩාල වී ඇති බවත්, දැනට එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 60%ක් පමණ අවසන් වී ඇති බවත් තාක්ෂණ නිලධාරියා කියා සිටියා.

කොටගල දුම්රිය ස්ථානයේ සිට සේවා සැපයුම් දුම්රියක් මඟින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ප්‍රවාහනය කරනු ලබනවා.

පවතින වර්ෂාපතනය අඩු වී වියළි කාලගුණ තත්ත්වයක් පැවතුනහොත්, කොටගල ග්‍රේග්ලි වතුයායේ දුම්රිය මාර්ගය අසල නාය ගිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම මේ වසරේ (2026) සැප්තැම්බර් මාසය අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes