Business30 April 2026

මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2026 මාර්තු මාසයේදී දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින්, පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කළේය.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා විසින් මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඇතිවූ ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, ඉහළ යන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන් පැනනැගී ඇති අභියෝගාත්මක වාතාවරණය පිළිබඳව සඳහන් කරන ලදී.

නව ඇණවුම් දර්ශකය මෙම මාසය තුළද වර්ධනය වූ අතර, ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා විසින් ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් තවදුරටත් ඉහළ මට්ටමකින් පවතින බව වාර්තා කළහ. පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ වුවද සැලසුම් කළ බඳවා ගැනීම් සහ මිලදී ගැනීම් අඛණ්ඩව සිදු කිරීම පිළිබිඹු කරමින් සේවා නියුක්ති සහ තොග මිලදී ගැනීම් දර්ශක මාර්තු මාසයේදී තවදුරටත් ඉහළ ගියේය.

ඉදිරියේදී මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාව හේතුවෙන් බොහෝ සමාගම් තොග එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දරන අතර, සැපයුම්කරුවන් සීමා සහිතව අමුද්‍රව්‍ය නිකුත් කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ද ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළහ.

මේ අතර, ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය ආශ්‍රිත ප්‍රමාදයන් හේතුවෙන් ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂාවෙන් ඉදිරි කාර්තුව සඳහා අපේක්ෂා කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුනද, මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණයෙන් ඇතිවන අවිනිශ්චිතතා හේතුවෙන් එහි යම් අඩුවීමක් දක්නට ලැබුණි.

 

Related recommendation
Hiru TV News | Programmes