Sports19 June 2026

පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ (Lionel Messi) පියා වන ජෝර්ජ් මෙසී (Jorge Messi) දැනට මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවකින් සුවය ලබමින් සහ "යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින්" පසුවන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ (18) නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඇල්ජීරියාවට එරෙහිව ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව, ලියොනෙල් මෙසී සිය ජර්සියෙන් කඳුළු පිසදමමින් දැඩි සේ සංවේදී වූ අයුරු දැකීමෙන් පසුව ඔහුගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.

කෙසේ වෙතත්, මෙසී පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමන් හැඬුවේ ක්‍රීඩාවට සම්බන්ධ නොවන පෞද්ගලික හේතුවක් මත බවත්, පසුගිය දින කිහිපය තුළ තමන් දැඩි දුෂ්කර කාලවකවානුවක් පසු කළ බවයි.

මෙසීගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි ජෝර්ජ් මෙසී දැනට "වෛද්‍ය අධීක්ෂණය යටතේ" පසුවන අතර, පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔවුහු මාධ්‍ය සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, ඔහු මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවේ නිශ්චිත ස්වභාවය පිළිබඳව එම නිවේදනයේ කිසිවක් සඳහන් කර නැහැ.

මේ අතර, පවුලේ හිතවතකු රොයිටර් පුවත් සේවයට (Reuters) පවසා ඇත්තේ මෙසීගේ පියා දැනට ආර්ජන්ටිනාවේ රෝහලක තරමක් බරපතළ තත්ත්වයෙන් පසුවන බවයි.

තම ලෝක කුසලාන ශූරතාව රැකගැනීමේ අරමුණින් තරග වදින ආර්ජන්ටිනා කණ්ඩායම, එළඹෙන සඳුදා දින 'J' කාණ්ඩය (Group J) යටතේ ඔස්ට්‍රියාව සමඟ සිය මීළඟ තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes