Sports18 July 2026

තරග පාවාදීමට දෙන්න හැදූ ලක්ෂ ගාණක සල්ලි මල්ල කුණු කූඩෙට දමා Jaffna Kings සම හිමිකරුව රිමාන්ඩ් කරවපු අපේ ක්‍රීඩකයන් තිදෙනා

තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (17) නියෝග කළා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනෙක්.

සිද්ධියට අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ, 2026 LPL තරගාවලියේ තරග පාවා දීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණට කරුණු දක්වමින් ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරීන් මෙලෙස පවසා සිටියා.

"ස්වාමිනි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හට මෙම සැකකරුවන් දෙදෙනා විසින් 2026 LPL තරග පාවාදීමට යෝජනා කර තිබෙනවා. එනම් භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ යන අයට එසේ යෝජනා කර තිබෙනවා. 2026 ජුලි 15 වැනිදා ඩොලර් ලක්ෂ 3ක් මැච් 4කට ලබා දීමට තමයි කටයුතු යොදා තිබුණේ. ඒ සම්බන්ධයෙන් කරන ලද සංවාද ඇතුළත් රේකෝඩරය අද අධිකරණයට ඉදිරිපත් කරනවා."

"මෙහි මුල් ගණුදෙනුව ලක්ෂ 120 ගණුදෙනුවක්. පසුව එය ලක්ෂ 115කට අඩුකරගෙන. මෙම සැකකරු මුදල් ලබා දෙන අවස්ථාවේදී තමයි අත්අඩංගුවට ගත්තේ. එහි තිබූ මුදල් සහ බෑගය අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි ලක්ෂ 95ක මුදලක් තිබුණා."

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිළධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
Related Recomands
Hiru TV News | Programmes