Sports22 August 2026

ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්

ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් පසු ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආර්ජන්ටිනා ක්‍රීඩකයින් තිදෙනෙකුට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ස්පාඤ්ඤයේ එරික් ගාර්සියාගේ ගෙල තදින් අල්ලා ගැනීම සහ ගාවි බිමට තල්ලු කර දැමීම සම්බන්ධයෙන් ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක ලෙයන්ඩ්රෝ පරේඩෙස්ට තරග 10 ක තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තහනම 2014 වසරේදී උරුගුවේ ක්‍රීඩක ලුයිස් සුවාරෙස්ට පැනවූ තහනමට පසුව ලෝක කුසලාන ඉතිහාසයේ පනවන ලද බරපතලම දඬුවම් අතරට එක්වනවා.

මීට අමතරව, ආර්ජන්ටිනා පසුපෙළ ක්‍රීඩක නහුවෙල් මොලීනාට තරග 7ක තහනමක් සහ තියාගෝ අල්මාඩාට එක් තරගයක තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම, පරේඩෙස් සහ මොලීනාට අමෙරිකානු ඩොලර් 90,000ක් ද, අල්මාඩාට අමෙරිකානු ඩොලර් 30,000 ක දඩ මුදලක් ද අය කර තිබෙනවා.

2027 ජූනි දක්වා ජාතික කණ්ඩායම් සඳහා වන ජාත්‍යන්තර පාපන්දු තරග කාලසටහනට තරග 10 ක් ඇතුළත් වන බැවින්, පරේඩෙස්ට පැනවූ මෙම තහනම මගින් ඔහුට වසරක කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී යනවා.

අදාළ සිදුවීමට සම්බන්ධ ස්පාඤ්ඤයේ ගාවි හටද එක් තරගයක තහනමක් පනවා ඇති අතර, එය සැප්තැම්බර් 26 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන නේෂන්ස් ලීග් තරගයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

එමෙන්ම, ආර්ජන්ටිනා සහකාර පුහුණුකරු රොබර්ටෝ අයාපාට ද තරග 3 ක තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක් නියම කර තිබෙනවා.

තවද, ආර්ජන්ටිනාවට ඔවුන්ගේ ඊළඟ ගෘහස්ථ තරගය ධාරිතාවෙන් 50% කට සීමා වූ ක්‍රීඩාංගනයක ක්‍රීඩා කිරීමට ද නියෝග කර තිබෙනවා.

මූලාශ්‍රය - espn
Related Recomands
Hiru TV News | Programmes