General29 January 2015

උඩුවේ හිමිගේ විහාරයේ හොර අලි පැටියෙක්

කිරුළපන - පොල්හේන්ගොඩ ප්‍රදේශයෙ විහාරස්ථානයක බලපත්‍ර නොමැතිව රඳවා සිටි අලි පැටවෙකු වනජීවී නිලධාරීන් ඊයේ (28) සොයාගෙන තිබෙනවා. තම කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇලන් මැතිනියාරාමයේ සිටියදී මෙම අලි පැටවා සොයාගත් බවයි කොළඹ  ප්‍රධාන වනජීවී කාර්යාලය කියා සිටියේ.

අලි පැටවා ලබාගත් ආකාරය පිළිබඳව එහි සිටි පුද්ගලයන්ගෙන් විමසා සිටියද ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකිවූ බවයි වැටලීම සිදුකළ වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අවුරුදු 3ක් පමණ වයසැති අලි පැටවා මේ වනවිට කොළඹ වනජීවී කාර්යාලයේ නිලධාරීන් භාරයේ පසුවනවා. එම ස්ථානයට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකද පැමිණ සිටි අතර අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ අද දිනයේදී අලි පැටවා ලබාගත් ආකාරය සම්බන්ධයෙන් ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස විහාරස්ථානයේ වගකිවයුත්තන්ට දන්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය උඩුවේ ධම්මාලෝක හිමියන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා.
Related recommendation
Hiru TV News | Programmes