General17 July 2015

වසා දැමූ පසුවත් ස්වයංක්‍රීයව විවෘත වන දොරක්, පොළොන්නරුව කෞතුකාගාරයේ

පොළොන්නරුව - කෞතුකාගාරයේ පිවිසුම් දොරටුවේ පවතින දෝෂ හේතුවෙන් එහි තිබෙන කෞතුක භාණ්ඩවල ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිට ස්ථාපිත කර ඇති මෙම කෞතුකාගාරය පාලනය කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. එය නැරඹීම සඳහා දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50ක් සහ විදේශීකයෙකුගෙන් රුපියල් 3300ක් අය කෙරෙනවා.

මෙහි පිවිසුම් දොරටුව ආසන්නයේ ද පොළොන්නරු යුගයට අයත් කෞතුක වස්තූන් රැසක් තැන්පත් කර තිබෙනවා. අමුත්තෙකු ඇතුළු වූ සැණින් ස්වයංක්‍රීයව විවෘත වන ලෙස සකසා ඇති එම දොරටුව කෞතුකාගාරය වසා දැමීමෙන් පසු ක්‍රියා විරහිත කළ යුතු වනවා. එහෙත් විශේෂත්වය වන්නේ  මෙහි පවතින දෝෂසහගත තත්ත්වය නිසා සවස 5.30ට කෞතුකාගාරය වසා දැමුණත් කෙනෙකු ඇතුළු වූ සැණින් එය යළි ස්වයංක්‍රීයව විවෘත වීමයි. මෙම දෝෂය පරිපාලකයන්  වළකා ගන්නේ ලී කොටයක් දොරට සිර කිරීමෙන්.

කෞතුකාගාරයේ සිසි ටී.වී. කැමරා පද්ධතිය ද වසරකට වැඩි කාලයක් අක්‍රියව පවතින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. එහි පාලක මැදිරිය අද ගබඩාවක් බවට පත්වෙලා. මෙහි සේවකයන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව ද ජනතාවට ඇත්තේ නොසතුටක්. කොතරම් පැමිණිලි ඉදිරිපත් කළත් ඊට නිසි පියවර ගැනීම පසෙක තබා මෙහි සේවකයන් පරිගණක ක්‍රීඩාවල යෙදීම පමණක් සිදුකරමින් සිටින බව එහි ගිය අප වාර්තාකරුට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

බලධාරීන්ගේ නොසැලිකිලිමත්කම නිසා මෙරට ප්‍රධාන කෞතුකාගාරය වන කොළඹ ජාතික කෞතුකාගාරය ද දෙවරක් සොරුන්ගේ ග්‍රහණයට නතු වුණා. මිල කළ නොහැකි පෞරාණික වස්තු තැන්පත් කර ඇති පොළොන්නරුව කෞතුකාගාරටයත් එවන් ඉරණමක් අත්වේ ද?

Related recommendation
Hiru TV News | Programmes