General15 October 2017

කවුඩුල්ලට අලි බැලීමට ආ හෙලිකොප්ටර් යානය ගැන පරීක්ෂණයක්

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ අලි බැලීමට පැමිණි හෙලිකොප්ටර් යානයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ පරිපාලනය එක්වයි මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කර ඇත්තේ.

පෙරේදා දිනයේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වන අලි රංචුවක් සිටින ස්ථානයකටයි මෙම හෙලිකොප්ටර් යානය පැමිණ ඇත්තේ.

ඔවුන් යානය වන අලින් අසළටම ළං කර ඇති අතර, එහිදී වන අලි කළබලවී උද්‍යානය තුළ සිටි සංචාරකයන් පිටුපස හඹා ගොස් ඇති බව සඳහන්.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සේවකයන් මහත් පරිශ්‍රමයක් දරා සංචාරකයන් මුදාගෙන ඇති අතර, එදිනම මින්නේරිය ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ බවයි වනෝද්‍යාන භාරකරු ඩබ්ලිව්.ජේ.කේ. හේරත් සඳහන් කළේ.

පසුව හමුදා කඳවුරේ නිලධාරින්ගේ මග පෙන්වීම මත සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

වනෝද්‍යාන නිලධාරීන් පවසන්නේ මසකට වරක් පමණ මෙලෙස හෙලිකොප්ටර් යානයක්, වන සතුන් නැරඹීම සඳහා උද්‍යානය තුළට පැමිණෙන බවයි.

එහිදී වන සතුන්ට විවිධ හිරිහැර සිදුවන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes