General16 December 2019

පැහැර ගත් බව කියන සිද්ධිය, තමා ඉලක්ක කර සිදුකළ ක්‍රියාවක් බව ජනපති කියයි

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක්වී නොමැති බවත්, මෙම සිදුවීම තමන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ක්‍රියාවලියක් බවත්, පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

එවැනි සිද්ධියන් සිදුනොවුණු බව සී.සී.ටී.වී. දර්ශන, දුරකථන දත්ත සහ ස්වාධීන සාක්ෂි ඔස්සේ දැනටමත් හෙළි වී ඇති බවයි ජනාධිපතිවරයා අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී සඳහන් කළේ.

සිද්ධියට මුහුණ දුන් බවට පැවසෙන කාන්තාව සම්බන්ධයෙන් විශාල සැකයක් මතුව ඇති අතර,  ඇයගෙන් පරීක්ෂණ කටයුතු සඳහා කිසිදු සහයෝගයක් ලැබී නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

කෙසේ වෙතත්, ස්විස් තානාපති කාර්යාලයෙන් ඊට අදාළ සහය නොඅඩුව ලැබී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ.  

පසුගිය රජය සමයේ ප්‍රකාශයට පත්වූ මඩ ගසන සංස්කෘතිය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි සංස්කෘතියක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැනි අයට සුදුසු බවයි.

අසත්‍ය කරුණු මවාපාමින් ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍යවරයා විසින් කැදවූ මාධ්‍ය හමු හේතුවෙන් තම ඡුන්ද ප්‍රතිශතය ඉහළ ගිය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියේ.

ජනාධිපතිවරයා සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම 2020 වසරේ තමන්ට පැවරී ඇති එකම අභියෝගය බවයි. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන් ඒ සඳහා කැප විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

රාජ්‍ය අංශයේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඒ ඔස්සේ කාර්යක්ෂම, කඩිනම් රාජ්‍ය සේවයක්  ඔස්සේ රට ඉදිරියට ගෙන යා හැකි බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළා.

රැකියා කාර්ය සාධන බලකාය මගින් අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් මුල් කර ගනිමින් රැකියා ලබාදීම ලබන වසරේ සිට ආරම්භ කෙරෙනවා.

නිපුණත්වයක් නොමැති පුද්ගලයින්ට නිපුණතා පුහුණුව ලබාදී නව රැකියා උත්පාදනය කිරීම වත්මන් රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලෝකයේ පවතින නව රැකියා සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතු අතර, ඒ ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

මෙරට සේවා සහ අවශ්‍යතා සඳහා කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු යොදා නොගන්නා බවත්, දේශීය උගතුන් සමඟ එක්ව ඉදිරියට යාම තම අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් එහිදී ජනාධිපතිවරයාගෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ද විමසා සිටියා.

එම ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදි අධ්‍යයනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියේ.

තමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කිසිදු අවස්ථාවක මැතිවරණ කල් නොදමන අතර, නිසි කලට ඡුන්ද පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මීට අමතරව රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට පුළුල් බලපෑමක් කළ හැකි බවත්, මාධ්‍ය නිදහසට කිසිදු බාධාවක් එල්ල නොකරන බවත්, එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අහෝසි කිරීම නිසා නිවැරදි තොරතුරු තහවුරු කර ගැනීමේදී මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළුව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවදානය යොමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කර ගනිමින් තම මතය නොව අදාළ විෂය පිළිබද ඍජුව ප්‍රකාශ කළ හැකි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයක් ස්ථාපනය කිරීමට ක්‍රියා කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, රටේ ජාතික සමගිය ආරක්ෂා වන්නේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වීම නිසා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පරිසරය ස්ථීර වශයෙන්ම ගොඩනගන බව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ද අද ජනාධිපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes