General20 September 2025

දෙසතියක මෙහෙයුම්වලින් නීති විරෝධීව ධීවර කටයුතු කළ 78ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතිය (2025 සැප්තැම්බර් 01 සිට 15 දක්වා) තුළ දේශීය මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවක් මඟින්, නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 78 දෙනෙකු ආම්පන්න සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා වැනි නීති විරෝධී පන්න ක්‍රම භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදුණු මෙම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 35ක් සහ බහුදින ධීවර යාත්‍රාවක් (01ක්) සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

නැගෙනහිර, උතුරු සහ ගිණිකොන නාවික විධාන මඟින් ත්‍රීකුණාමලය කල්ලරාව, යාපනය චුන්ඩිකුලම්, කදෙයිකාඩු, කරෙයිතිව් සිට නින්දවුර් දක්වා ඇතුළු වෙරළ හා මුහුදු ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ආම්පන්න සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, යාපනය, මඩකලපුව, කල්මුනේ ඇතුළු ප්‍රදේශවල පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes