General14 October 2025

ආණ්ඩුවේ මැති ඇමති 5ක් සමග සජබ මුජිබර් බාබඩෝස්වල

කැබිනට් අමාත්‍යවරියක ඇතුළු ආණ්ඩු පක්ෂයේ පස් දෙනෙකු සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි බාබඩෝස් දූපතේ සංචාරයක නිරත වී තිබෙනවා.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස බාබඩෝස් හි පැවැති 68 වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවටයි මෙසේ සහභාගී වී ඇත්තේ.
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිස, පසුගිය 5 සිට 12 දක්වා බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි පැවති 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට (CPC) සහභාගී වූණා.

“පොදුරාජ්‍ය මණ්ඩලය - ගෝලීය සහකරුවෙක්” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වුණා.
 
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූණා.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම, අන්තර්කරණය  හා විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සාමාජික ව්‍යවස්ථාදායකයන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමින් සමුළුව සංවිධානය වී තිබුණා.
 
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී ‍ පෝල්රාජ් , වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPwD) ආසියානු කලාපීය ප්‍රවර්ධක සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සාගරිකා අතාවුද, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, මුජිබුර් රහුමාන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය ලේකම් කුෂානි රෝහණධීර ඇතුළත්ව සිටියා.
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් , පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ (CWP) වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගී වීමෙන් සමුළුවට සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නා.

“වෛරය නොව විවාදය: නිදහස් භාෂණයේ ප්‍රතිඵලයක් ලෙස අපයෝජනය පිළිනොගැනීම” යන මාතෘකාව යටතේ පැවති වැඩමුළුවේ ප්‍රධාන කථිකයෙකු ලෙස ඇය සිය දායකත්වය ලබා දුන් අතර විකල්ප සාමාජිකාවක් ලෙස CPA ආසියානු කලාපය නියෝජනය කරමින් CWP මෙහෙයුම් කමිටුවට සහභාගී වූවා.
 
"ආබාධ සහිත කාන්තාවන් දේශපාලනයේ යෙදීමට ඇති බාධක ජය ගැනීම" යන මැයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ (CWP) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPwD) ඒකාබද්ධ වැඩමුළුවේදී, ආබාධ සහිත කාන්තාවන් දේශපාලනය තුළ බලගැන්වීම පිළිබඳව පෝල්රාජ් අමාත්‍යවරිය සිය අදහස් දැක්වූවා.

විශේෂයෙන් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, අන්තර්කරණය සහ ස්ත්‍රී පුරුෂ භාවයට ප්‍රතිචාර දක්වන පාලනයක් සඳහා මෙරට කැපවීම නැවත තහවුරු කරමින් ප්‍රධාන විවාදයේදී දේශනයක් පැවැත්වූවා.

තවද, අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය ලේකම් කුෂානි රෝහණධීර සමඟ CPA ආසියානු කලාපීය විධායක කමිටු රැස්වීමේ මුලසුන දැරූ අතර, එහිදී සාමාජික පාර්ලිමේන්තු අතර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.
 
Related recommendation
Hiru TV News | Programmes