General29 October 2025

යටියන්තොට ලැවන්ට් වත්තේ පවුල් 21ක් අනතුරේ

යටියන්තොට, වීරගල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් ලැවන්ට් වත්ත උඩ කොටසේ පවුල් 21කට අයත් පුද්ගලයින් 140 දෙනෙකු පමණ මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ අතිශය දුෂ්කර හා අවදානම් සහගත තාවකාලික කූඩාරම්වල ජීවත් වෙනවා.


කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලැවට්වත්තේ මෙම ජනතාව මුහුණ දෙන මානුෂීය අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.


මෙම ඛේදවාචකයේ ආරම්භය සනිටුහන් වන්නේ 2021 වසරේ මැයි මාසයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟයි. එකල මෙම නිවාස පෙළ ඉදිරිපිට පොළොව බරපතළ ලෙස ඉරිතැලීම්වලට ලක් වුණා. එම ඉරි තැලීම් හේතුවෙන් සමස්ත නිවාස පෙළටම අනතුරුදායක තත්ත්වයක් තිබුණා.


පසුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් මෙම තත්ත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වා තිබුණා. එහිදී, එම නිවැසියන්ට අදාළ නිවාසවලින් වහාම ඉවත් වීමට උපදෙස් ලබා දී ඇත්තේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණෙන්. එම උපදෙස් හේතුවෙන් මෙම ජනතාව තම නිවෙස් අතහැර තාවකාලික කූඩාරම්වල පදිංචියට යෑමට සිදු කර තිබුණා.


කෙසේ වෙතත්, වසර 2025 වන විටත් මෙම ජනතාවට ස්ථිර නිවාස විසඳුමක් ලබා දීමට බලධාරීන් පොහොසත් වී නෑ. ඔවුන් තවමත් තාවකාලික කූඩාරම්වල ජීවත් වනවා.


ප්‍ර‍දේශවාසීන් පවසන්නේ බලධාරීන්ගේ නිද්‍රාශීලී බව හේතුවෙන් තමන්ට මෙම තත්ත්වය උදා වී ඇති බවයි.


මෙම කූඩාරම් ජීවිතය තුළ ජනතාවට මූලික මිනිස් අවශ්‍යතා පවා අහිමිව  අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. තමන්ට කන්නට, බොන්නට, අඳින්නට නැති බවත්,  වැසිකිළි පහසුකම් පවා නොමැති බවත් එම ජනතාව පවසනවා.


සනීපාරක්ෂක ගැටලුව උග්‍ර වී තිබෙනවා. වැසිකිළි පහසුකම් නොමැති බැවින්, ඔවුන්ට වැසිකිළියට යාමට පවා සිදුව ඇත්තේ එළිමහනේයි. මෙවන් තත්ත්වයක් තුළ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ විශේෂයෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද දැඩි අවදානමක් මතුවෙලා.


වසර හතරක් පුරා කූඩාරම් ජීවිතය ගත කළ එම තාවකාලික කූඩාරම් මේ වන විට දිරාපත් වී තිබෙනවා. එම නිසා, ඔවුන් නැවතත් අවදානම නොතකා කඩා වැටෙමින් පවතින පේළි නිවාසවලට පදිංචියට ගියද, පවතින වැසි තත්ත්වය හමුවේ ඔවුන්ට නැවත එම නිවාස අතහැර පැරණි තහඩු ගලවා තාවකාලික නිවාස ඉදි කර ගැනීමට සිදුවෙලා.


නිවාසවල බිත්ති පවා කඩා වැටී ඇති අතර, මෙම තත්ත්වය හමුවේ දරුවන්ට මරණීය අවදානමක් පවා ඇති බව එම නිවැසියන් පවසනවා. එක් නිවැසියකු ඔවුන්ගේ තත්ත්වය විස්තර කර ඇත්තේ "කබලෙන් ලිපට වැටිච්ච මිනිහා ලොකු ගිනිගොඩක් දාලා තල්ලු කරලා තියෙන්නේ" යනුවෙනුයි.


මෙම නිවැසියන්  බලධාරීන්ගෙන් ඉල්ලන්නේ හැකි ඉක්මනින් තම නිවාස ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දෙන ලෙසයි. මෙම දුක්ඛිත තත්ත්වය තවදුරටත් දරා ගත නොහැකි බවද ඔවුන් පවසනවා,.

Related Recommends
Hiru TV News | Programmes