International11 November 2025

දිල්ලි පිපිරුමේ මොළකාරයෝ දොස්තරලා 4දෙනෙක්!

ඉන්දියාවේ අගනුවර මධ්‍යයේ පිහිටි ඓතිහාසික රතු බලකොටුව අසල දී ඊයේ සිදුවූ මෝටර් රථ පිපිරීම 'සුදු කරපටි ත්‍රස්ත පරිසර පද්ධතියක්' තුළ සැලසුම් කෙරුණු නව යුගයේ ත්‍රස්තවාදී මුහුණුවරක් ගන්නා ක්‍රියාවක් බව ඉන්දීය විමර්ශකයන් වෙත අනාවරණය වී තිබෙනවා.

පුද්ගලයන් 09 දෙනකුට මරු කැඳවමින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ මෙම කම්පන සහගත සිදුවීමේ දී පුපුරා ගිය සුදු හයුන්ඩායි අයි 20 මෝටර් රථයේ සිටියේ මරාගෙන මැරෙන බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් යැයි සැක කෙරෙන බවයි එරට වාර්තා පවසන්නේ.

 ඔහුගේ මව සහ සහෝදරයන් ජම්මු කාශ්මීරයේ ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගෙන තිබෙනවා.

මෙම පිපිරීම පිටුපස සිටින්නේ යැයි සැකකරන වෛද්‍යවරුන් තිදෙනෙකු වන අඩීල් අහමඩ් රාතර්, මුසම්මිල් ෂකීල් පිළිබඳව ද විමර්ශන සිදු කෙරෙන බවයි ඉන්දීය වාර්තා පැවසුවේ.

සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති උමර්, අඩීල් සහ මුසම්මිල් යන තිදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුන්.

වෛද්‍ය අඩීල් අහමඩ් රාතර් කලින් අනන්ට්නාග් හි රජයේ වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ අතර පසුව සහරන්පූර් හි පෞද්ගලික රෝහලක සේවය කර තිබෙනවා.

‌වෛද්‍ය මුසම්මිල් ෂකීල් පසුගිය වසර තුන පුරා ෆරීඩාබාද්හි අල්ෆලා වෛද්‍ය විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නේවාසිකයෙකු ලෙස සේවය කළා.

වෛද්‍ය ෂහීන් ෂාහිඩ් නමැති කාන්තාවක් ද මෙම මොඩියුලයට සම්බන්ධ බවට සැක කරන අතර, ඇයගේ මෝටර් රථයෙන් රයිෆලයක් සහ පතරොම් සොයාගෙන තිබෙනවා.

ආරක්ෂක ඒජන්සි පවසන පරිදි, වෛද්‍යවරුන් වැනි ඉහළ අධ්‍යාපනයක් ලැබූ වෘත්තිකයන් සම්බන්ධ වීම ත්‍රස්තවාදී සංවිධාන බඳවා ගන්නා ආකාරයෙහි මූලික වෙනසක් සංඥා කරන්නක්.

මෙම ‘සුදු කරපටි’ ත්‍රස්ත කණ්ඩායම දේශනය, සම්බන්ධීකරණය, අරමුදල් ගෙනයාම සහ සැපයුම් සඳහා සංකේතාත්මක නාලිකා (encrypted channels) භාවිත කර ඇති බව ජම්මු සහ කාශ්මීර් පොලිසිය පැවසුවා.

අරමුදල් රැස් කර ඇත්තේ වෘත්තීය සහ ශාස්ත්‍රීය ජාල හරහා, සමාජ/ පුණ්‍යායතන අරමුණු මුවාවෙන් බව ද සොයාගෙන තිබෙනවා.

මෙම පිපිරීම සිදුවීමට දින කිහිපයකට පෙර, ජම්මු සහ කාශ්මීර පොලිසිය සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් නව ‘සුදු කරපටි’ ත්‍රස්ත ජාලයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

වෛද්‍ය අඩීල් අහමඩ් රාතර් සහ ආචාර්ය මුසම්මිල් ෂකීල් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ෆරීඩාබාද්හි කාමර දෙකකින් සොයාගත් බෝම්බ සෑදීමට යොදාගන්නා කිලෝග්‍රෑම් 2,900 ක් පමණ වූ මෙම ද්‍රව්‍ය ඇමෝනියම් නයිට්‍රේට් බවට සැක කෙ‌රෙනවා. දිල්ලි පිපිරුම සිදුකිරීමට යොදාගෙන ඇත්තේ ද මෙම රසායනිකයම බවයි විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත්තේ.

විමර්ශකයන් සැක කරන්නේ, තම සගයන් අත්අඩංගුවට ගැනීම සහ විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, මෙම පිපිරීම සිදු කළ බවට සැකකරන රියදුරු වන වෛද්‍ය උමර් මොහොමඩ් භීතියට පත් වී කළ නොහැකි තත්ත්වයක් තුළ සියදිවි නසාගැනීමේ ප්‍රහාරයක් සිදු කිරීමට තීරණය කරන්නට ඇති බවයි.

පිපිරීමට ලක් වූයේ සුදු හයුන්ඩායි i20 රථයක්.

මෙම මෝටර් රථය රතු බලකොටුව අසල ඇති රථවාහන සංඥා අසල දී ඊයේ එරට වේලාවෙන් ප.ව. 6.52 ට පමණ පුපුරා ගියා.

පිපිරීම සිදුවූ ස්ථානය නේතාජි සුභාෂ් මාර්ගයේ පිහිටා ඇති අතර, එහි එක් පසෙකින් රතු බලකොටුව ද අනෙක් පසින් චාන්දනි චෞක් ද පිහිටා තිබෙනවා.

මුලින් සල්මාන් නමින් ලියාපදිංචි කර තිබූ මෙම මෝටර් රථය, පසුව දේවේන්දර්, අමීර් සහ තාරික් හරහා මාරු වී අවසානයේ ආචාර්ය උමර් මොහොමඩ් වෙත ලැබී තිබුණා.

ආරක්ෂක වීඩියෝ දර්ශනවලට අනුව, මෝටර් රථය පිපිරීමට පෙර පැය තුනක් වැඩි කාලයක් රතු බලකොටුව අසල නවතා තිබෙනවා.

එය ප.ව. 3:19 ට ඇතුළු වී ප.ව. 6:30 ට පමණ පිටව ගොස් ඇති අතර රියදුරු තත්පරයකට හෝ මෝටර් රථයෙන් පිටතට නොගිය බව වීඩියෝ දර්ශනවලින් පෙනී යන බව සඳහන්.

විමර්ශකයන් සඳහන් කරන්නේ, මෙම ප්‍රහාරය සඳහා ඇමෝනියම් නයිට්රේට් ඉන්ධන තෙල් භාවිතා කර ඇති බවත්, එය මෝටර් රථය තුළ ඩෙටනේටරයක් තබා සිදු කර ඇති බවත්ය.

මේ පිළිබඳ පොලිසිය විසින් ත්‍රස්තවාදී නඩු සඳහා භාවිතා කරන නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේ නඩුවක් ලියාපදිංචි කර තිබෙනවා.

ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් මෙම විමර්ශනය භාර ගැනීමට ඉඩ ඇති බව සඳහන්.

මෙම විමර්ශනය, ශ්‍රීනගර්හිදී ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායමට සහය දක්වන පෝස්ටර් පළ කිරීම පිළිබඳ විමර්ශනයකින් ආරම්භ වී, අවසානයේ උත්තර ප්‍රදේශ් සහ හර්යානා දක්වා විහිදී ගොස් තිබෙන බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes