International20 January 2026

පැය 3කට ඉන්දියාවට ආ එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉහළ පිළිගැනීමක්

පැය තුනක සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ඉන්දියාවට පැමිණ තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඔහුට ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවූ බවයි.

එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් තොටුපළට පැමිණ සිටීම ද විශේෂත්වයක් යනුවෙනුයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

එහිදී නායකයින් දෙදෙනාම එකිනෙකා වැළඳ ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර එක්සත් අරාබි එමීරයේ ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ X හි සටහනක් පළ කරමින් ඉන්දීය අගමැති මෝදි පවසා තිබුණේ,"මගේ සහෝදරයා පිළිගැනීමට" ගුවන් තොටුපළට ගිය බවයි.

"මගේ සහෝදරයා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පිළිගැනීමට ගුවන් තොටුපළට ගියා. ඔහුගේ සංචාරය ශක්තිමත් ඉන්දියාව-එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිත්‍රත්වයකට ඔහු දක්වන වැදගත්කම පෙන්නුම් කරයි. අපගේ සාකච්ඡා බලාපොරොත්තුවෙන් සිටිමු," අගමැති මෝදි එම සටහනේ දක්වා තිබුණා.

නායකයින් දෙදෙනා ගුවන් තොටුපළේ සිට එකම මෝටර් රථයකින් එකට ගමන් කර තිබුණා.

මෙම සංචාරය බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න වී ඇති අවස්ථාවක සිදු වන අතර, ඉරාන-ඇමරිකානු සබඳතා බිඳ වැටීම, ගාසා තීරයේ අඛණ්ඩ අස්ථාවරත්වය සහ තවත් කලාපීය අර්බුද කිහිපයක් මධ්‍යයේ සිදු වීම විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes