General03 February 2026

නියෝජ්‍ය මහලේකම්ගේ වැඩතහනම් කිරීමේ කතාවලින් මැතිසබය උණුසුම්


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම පිළිබඳව අද (03)පාර්ලිමේන්තුවේදී කතාබස් කිරීම නිසා ආණ්ඩු පක්ෂය හා විපක්ෂ අතර යම්කිසි උණුසුම්කාරී තත්ත්වයක් මැතිසබය තුළ ඇතිවුණා.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය අතර ගැටලුවක් ඇතිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවත් මේ තත්ත්වය කඩිනමින්ම නවතා දැමීමට ක්‍රියා කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියටත් යම්කිසි ගැටළුවක් මතු කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිනවාද කියා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අද මුලින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

වැඩ තහනමට ලක්වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සම්බන්ධයෙන් අදහස් මතු කරමින් රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා.

අනුර බණ්ඩාරනායක, කරු ජයසූරිය, චමල් රාජපක්ෂ ඇතුළු මීට පෙර සිටි කතානායකවරුන් ගැන සඳහන් කරමින් රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දුන්නේ එම කතානායකවරුන් පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයත් සමඟ ඉතාම සුහදව සහයෝගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකර ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර ,නලින් බණ්ඩාර ,අජිත් පී පෙරේරා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ද මෙහිදී අදහස් දැක්වුවා. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ කාර්ය මණ්ඩල උපදේශන කමිටුවක් මගින් මෙහි පරීක්ෂණ සිදු කර ඒ අනුව ක්‍රියා කර ඇති බවයි.

නියෝජ්‍ය මහලේකම්වරයාගේ පත්කිරීම නිසි ක්‍රමවේදයට කර තිබෙනවාද යන්න පිළිබඳව එම පරීක්‍ෂණය මගින් සිදු කර ඇති බවත් එම වාර්තාව නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුව බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළා. 

එම කමිටුවේ විපක්ෂ නායක හෝ ඔහු නැති වේලාවට විපක්ෂයේ නියෝජිතයකු නියෝජනය කරන බවත් එම නිසා විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයින් අදහස් ප්‍රකාශ කර ගැනීම නිසා මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිවුණා.
Related recommendation
Hiru TV News | Programmes