International07 May 2026

ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්

කලාපීය සහ ගෝලීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ වියට්නාම ජනාධිපති ටෝ ලෑම් ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳ පුළුල් සාකච්ඡාවක නිරත වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වෙනවා.

වියට්නාම ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව නායකයින් දෙපළ අතර පැවැති ද්විපාර්ශවික හමුවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

වියට්නාමයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි, ලෑම් වෙත් සුබ පැතුම් එක් කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ වියට්නාමය එහි සංවර්ධන අභිලාෂයන් කරා අඛණ්ඩව ඉදිරියට යනු ඇතැයි විශ්වාසය පළ කළා.

ඉන්දියාවේ ජාතික සංවර්ධනය, ඉහළ ආර්ථික වර්ධනය මෙන්ම බහුපාර්ශ්විකවාදය ශක්තිමත් කිරීමට සහ ගෝලීය දකුණේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව ගෙන ඇති මූලාරම්භයන් අගය කරමින් ජනාධිපති ලෑම් අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතුම් පිරිනැමුවා.

ඉන්දියාව සහ වියට්නාමය අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙනු ඇති බවත්, ඉන්දියාවේ 'වික්සිත් භාරත් 2047' සහ වියට්නාමයේ 'විෂන් 2045' යන ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා අර්ථාන්විත දායකත්වයක් ලබා දෙනු ඇති බවත් නායකයෝ අවධාරණය කර තිබෙනවා.

ගෝලීය සහ කලාපීය භූ දර්ශනයේ සිදුවන පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව පොදු අදහස් බෙදාගත් නායකයින් දෙපළ, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය, අවබෝධය සහ බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ පවතින ඵලදායී සහයෝගීතාවය මත පදනම් වූ ශක්තිමත් සබඳතාව පිළිගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, පවතින සද්භාවය ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල බවට පරිවර්තනය කරමින්, 'පොදු දැක්ම, උපායමාර්ගික අභිසාරීතාවය සහ හරවත් සහයෝගීතාවය' යන තේමාව යටතේ ද්විපාර්ශ්වික සබඳතා 'වැඩිදියුණු කළ සර්වව්‍යාප්ත උපායමාර්ගික හවුල්කාරිත්වයක්' දක්වා ඉහළ නැංවීමට ඔවුහු එකඟ වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes