International07 May 2026

හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට සහාය වීම සඳහා වූ තම සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම අවලංගු කර ඇත්තේ, ප්‍රමුඛ පෙළේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටක් විසින් එම මෙහෙයුම සඳහා අමෙරිකානු හමුදාවට තම කඳවුරු සහ ගුවන් සීමාව භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවීම නිසා බව අමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ඉරිදා සමාජ මාධ්‍ය හරහා ට්‍රම්ප් විසින් “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම ප්‍රකාශයට පත් කිරීමෙන් ගල්ෆ් මිත්‍ර රටවල් මවිතයට පත් වී ඇති අතර, එය සවුදි අරාබියේ නායකත්වයේ දැඩි නොසතුටට හේතු වූ බවයි එම නිලධාරීන් පවසා ඇත්තේ.

මෙයට ප්‍රතිචාර වශයෙන්, රියාද් අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරෙන් ගුවන් යානා මෙහෙයවීමට හෝ අදාළ මෙහෙයුම සඳහා සවුදි ගුවන් සීමාව භාවිත කිරීමට අමෙරිකානු හමුදාවට ඉඩ නොදෙන බව සවුදි රජය අමෙරිකාවට දැනුම් දී තිබෙනවා.

ට්‍රම්ප් සහ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති දුරකථන සංවාදයකින් ද මෙම ගැටලුව විසඳී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන්, ඉතා වැදගත් ගුවන් සීමාවන් සඳහා පවතින ප්‍රවේශය යළි ලබාගැනීමේ අරමුණින් "ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්" මෙහෙයුම තාවකාලිකව නැවැත්වීමට ජනාධිපතිවරයාට සිදුවුණා.

ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති අවහිර කිරීම් බිඳ දැමීම සඳහා ට්‍රම්ප් මෙම මෙහෙයුම ප්‍රකාශයට පත් කළා.

කටාර් සහ ඕමාන් වැනි රටවල් ද මෙම නිවේදනය ගැන කල්තියා දැනුවත් කර නොතිබූ අතර, ඕමානය ප්‍රකාශ කළේ අමෙරිකාව පළමුව නිවේදනය නිකුත් කර පසුව තමන් හා සම්බන්ධීකරණය වූ බවයි.

මෙම මෙහෙයුම යටතේ අමෙරිකානු හමුදාව විසින් නෞකාවලට ආරක්ෂාව සපයමින් ඒවා පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට ගෙනයාමට කටයුතු කළා.

මෙහෙයුම නැවැත්වීමට පෙර අමෙරිකානු ධජය යටතේ යාත්‍රා කළ නෞකා දෙකක් ආරක්ෂිතව සමුද්‍ර සන්ධිය පසු කර තිබුණු බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දැනට පවතින යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්ථානය මැදිහත් වී ගෙන යන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සඳහා සවුදි අරාබිය සහාය දක්වන බව වාර්තා වන බවටයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.

මේ අතර, ට්‍රම්ප් ප්‍රකාශ කළේ සාම ගිවිසුමක් අත්සන් කිරීමට අවස්ථාවක් ඇත්දැයි බැලීමට මෙම මෙහෙයුම කෙටි කාලයකට අත්හිටුවන බවයි.
Related recommendation
Hiru TV News | Programmes