International29 April 2026

මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි

නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුන්ග් (Sudhan Gurung) සිය ධුරයට පත්වී මසක් ගතවීමටත් පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ ආයෝජන සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෑතකදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරික දීපක් භාට් (Deepak Bhatt) සමඟ පවතින බව කියන මූල්‍ය සබඳතා සහ කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයකට ඉඩ සැලසීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව "තනතුරට වඩා සදාචාරය වටිනා" බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇති බවද වාර්තා වනවා.

2025 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ දූෂණයට එරෙහිව ඇති වූ "Gen Z" තරුණ නැගිටීමේ ප්‍රධාන චරිතයක් වූ ගුරුන්ග් එම ව්‍යාපාරයේ සහාය ඇතිව බලයට පත් බැලේන්ද්‍ර ෂා (Balendra Shah) ගේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබුණා.

අමාත්‍ය ධුරයට පත්වූ පසුදාම එනම් මාර්තු (28) වැනිදා හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් අත්අඩංගුවට ගැනීමට ඔහු නියෝග කළේ සැප්තැම්බර් විරෝධතා අතරතුර සිදු වූ මරණ සම්බන්ධයෙනි.

දූෂණය පිටුදැකීමේ පොරොන්දුව මත බලයට පත් බැලේන්ද්‍ර ෂාගේ රජයට මෙම ඉල්ලා අස්වීම සහ චෝදනා දැඩි දේශපාලන පීඩනයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes