General01 May 2026

සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය උපදේශක මණ්ඩලයේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා.

අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය නිගමනය කර ඇත්තේ අධ්‍යක්ෂවරයාගේ සිරුරේ දක්නට ලැබුණු සියලුම තුවාල ඔහු විසින්ම සිදුකරගත් ඒවා (Self-inflicted) බවයි.

ඒ අනුව, මෙම මරණය තියුණු ආයුධයකින් සිදු වූ බහු කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ දරුණු රුධිර වහනයක් හේතුවෙන් සිදුවූ බවට එම වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පැන නැගුණු සැකසහිත තත්ත්වයන් හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ අධිකරණ වෛද්‍ය උපදේශකවරුන් පිරිසක් පත් කිරීමට මීට පෙර පියවර ගැනුණා.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ කැපුම් තුවාල සහිතව ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැනුණා.

මෙලෙස මියගොස් තිබුණේ රංග නිශාන්ත නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරයෙක්.

මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියා දින ‍දෙකක් කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බවට පළමුව වාර්තා වී තිබුණත්, පසුව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ විමර්ශන සඳහා පැමිණ ඇති ඔහු ලැප්ටොප් පරිගනක ඇතුලු දත්ත උපකරණද විමර්ශන අංශ වෙත භාරදී තිබූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes