General02 May 2026

මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයාගේ අවසන් කටයුතු සිදුකෙරේ

වැඩ තහනමකට ලක්ව සිටියදී සැක කටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කුලියාපිටිය - පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත කුලියාපිටිය - පහළ වීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තතේ සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී සොයා ගත්තේ පසුගිය 30 වනදායි.

ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ද දක්නට ලැබුණු අතර, මූලික විමර්ශනවලින් සැක කෙරුණේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් බවටයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.

එම මණ්ඩලය කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල විශේෂ අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඔවුන් අදාළ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කළේ ඊයේ දිනයේදීයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පැවසුවේ තියුණු ආයුධයකින් සිදු වූ බහුවිධ කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ අධික රුධිර වහනය මත ඔහු මිය ගොස් ඇතැයි අදාළ විශේෂඥ මණ්ඩලය විසින් නිගමනය කර ඇති බවයි.

එම තුවාල බොහෝ දුරට තමන් විසින්ම සිදු කරගත් ඒවා බවට හැගී යන බවටද එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය නිගමන කර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මියගිය රංග නිශාන්තගේ සිරුර, පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව අද ඔහුගේ නිවස වෙත රැගෙන ආවා.

මේ අතර දිනන දකුණ සාමූහිකය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසයි.

Related recommendation
Hiru TV News | Programmes