General03 May 2026

සුපිරි වෙළෙඳසලකදී සරසවි සිසුවකුගේ ලැප්ටොප් මල්ල අතුරුදන් කළ සේවිකාවක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක ගමන් මලු භාරගන්නා ස්ථානයේ තබන ලද, රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපාංග සහිත මල්ලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවය කළ සේවිකාවක කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුපිරි වෙළෙඳසලට පැමිණි පැමිණිලිකාර විශ්වවිද්‍යාල සිසුවා ඔහුගේ ගමන් මල්ල අදාල අංශයට භාර දී ඒ සඳහා වන ටෝකන් පත ලබාගෙන ඇති බවත්, පසුව භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව නැවත පැමිණ සිය මල්ල ඉල්ලා සිටියද, එය එහි නොතිබුණු බවට පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම පැමිණිල්ලට අදාලව සැකකාර සේවිකාව අත්අඩංගුවට ‍ගත් බවත් මෙලෙස අත්අඩංගුවට ගත්තේ‍ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසනවා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්නගේ උපදෙස් මත, අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, පොලිස් සැරයන්වරුන් වන සේනාධීර (9087), තිලකසිරි (48870), පොලිස් කොස්තාපල්වරුන් වන පත්මසිරි (79778), නන්දසිරි (93652), යොහාන් (99918), ප්‍රදීප් (102055) සහ කාන්තා පොලිස් කොස්තාපල් නිලූකා (8412) යන නිලධාරීන් මෙම වැටලීමට එක්වූණා.
Related recommendation
Hiru TV News | Programmes