General03 May 2026

හබරාදුවදී නිවෙසකට අකුණු වැදී නිදහස් වෙළෙඳ කලාප සේවිකාවක මරුට - තවත් තරුණියකට බරපතලයි

හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අද (03) අළුයම එල්ල වූ ප්‍රබල අකුණු සැර වැදීමකින් එම නිවසේ නවාතැන් ගෙන සිටි තරුණියක ජීවිතක්ෂයට පත්ව තවත් තරුණියක බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සිදුවීම අද (03) අළුයම සිදුව ඇති අතර, අනතුරට මුහුණපා ඇත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා රැකියාව සඳහා කොක්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික නිවසක නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසනවා.

අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ ඉමාෂා මදුභාෂණි නැමැති 26 හැවිරිදි තරුණියක්. ‍

ඇය දෙනියාය, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අනෙක් තරුණිය ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයට තද වැසි සහිත කාලගුණයක් පැවති බවට වාර්තා වූ අතර, හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes