General06 May 2026

රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

රත්තරන් කිලෝ 5 ක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 1800 ක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනා ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (6)නියෝග කළා.

සැකකාර තරුණයින් දෙදෙනා ලබන 12වැනි දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ හෙට්ටිවිදියේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් රත්තරන් භාණ්ඩ ඇති බවට පෙන්වා ඒවා ලබාදීමට මුදල් ලබාගෙන භාණ්ඩ ලබා නොදී වංචා කර ඇති බවද අධිකරණයට දැන්වුවා.
මුදල් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණියන් හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසට නියෝග කරමින් ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
Related recommendation
Hiru TV News | Programmes