International26 May 2026

අමෙරිකාවෙන් ඩොලර් බිලියන 24ක් නිදහස් කරගැනීමට ඉරානයෙන් නව අවබෝධතා ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකර ගැනීමට නියමිත නව ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක කොටසක් ලෙස (Frozen Assets) ඇති තමන්ට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 24ක අරමුදල් නිදහස් කරගැනීමට ඉරානය දැඩි උත්සාහයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ‘තස්නිම්’ (Tasnim) පුවත් සේවය උපුටා දක්වමින් මේ බව අනාවරණය කරනවා.

යෝජිත නව ක්‍රමවේදය යටතේ අදාල මුදල් නිදහස් කරගැනීමට සැලසුම් කර ඇත්තේ අදියර දෙකක් යටතේයි.

පළමුව දෙරට අතර ඇතිකර ගන්නා මූලික අවබෝධතා ගිවිසුම ප්‍රකාශයට පත්කිරීමත් සමග ඩොලර් බිලියන 12ක මුදලක් වහාම නිදහස් කළ යුතුයි.

දෙවන අදියර යටතේ ඉතිරි ඩොලර් බිලියන 12ක මුදල ගිවිසුමෙන් පසු දින 60ක් ඇතුළත ඉරානය වෙත මුදාහැරිය යුතුයි.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීම සහ ඉරාන සාකච්ඡා කණ්ඩායමට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ කටාර් රාජ්‍යයේ රඳවා ඇති මෙම පළමු ඩොලර් බිලියන 12ක කොටස වෙත සෘජුවම ප්‍රවේශ වීමේ හැකියාව තමන්ට ලැබිය යුතු බවට ඉරානය දැඩි කොන්දේසියක් පනවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මතුව ඇති තාක්ෂණික බාධා ඉවත් කරගැනීම සඳහා ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් මේ වනවිටත් කටාර්හි දෝහා නුවර වෙත ගොස් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ගිවිසුමේ අනෙකුත් කොන්දේසි දෙපාර්ශවය අතර සාකච්ඡා වෙමින් පවතින මෙම කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුම් කෙටුම්පත හරහා කලාපීය ස්ථාවරත්වයට අදාල තවත් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes