International02 June 2026

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

පසුගිය මැයි මාසය තුළ බංග්ලාදේශය පුරා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩකාරී මැර කල්ලිවල පහරදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට Manabadhikar Shongskriti Foundation නමැති මානව හිමිකම් සංවිධානය පවසනවා.

මෙය පසුගිය මාස හයක කාලය තුළදී එක් මාසයකදී වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවයි.

එම සංවිධානයේ මාසික වාර්තාවට අනුව, මැයි මාසය තුළ මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් අවම වශයෙන් 69ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 71 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අප්‍රේල් මාසයේදී පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් 49 දෙනෙකු තුවාල ලැබූ අතර, මැයි මාසය වන විට එම අගයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

"මැයි මාසයේදී මැර ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 21 සිට 32 දක්වා ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ, නීතිය තමන්ගේ අතට ගැනීමට ජනතාව තුළ ඇති ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවයි," යනුවෙන් එම සංවිධානය සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2025 දෙසැම්බර් මාසයේදී මරණ 10ක් ද, ඉන්පසු පිළිවෙළින් ජනවාරි මාසයේදී 21ක්, පෙබරවාරියේදී 18ක් සහ මාර්තු මාසයේදී මරණ 19ක් වශයෙන් වාර්තා වී තිබුණා.

මැයි මාසයේදී මියගිය 32 දෙනා අතරින් 14 දෙනෙකු සොරකම් චෝදනා මත ද, සිව්දෙනෙකු පුද්ගලික ආරවුල් හේතුවෙන් ද, දෙදෙනෙකු මංකොල්ලකෑම් චෝදනා මත සහ තවත් දෙදෙනෙකු ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන චෝදනා මත මෙලෙස මැර ප්‍රහාරයන්ට ලක්ව මියගොස් ඇත. ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් 35 දෙනෙකු පොලිසියට භාර දී තිබෙනවා.

එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙවැනි ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් නීතිය බලාත්මක කරන නිලධාරීන්ට සහ පොලිසියට පවා ප්‍රහාර එල්ල කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes