General04 June 2026

නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට

අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ සිට නාවික සැතපුම් 12,000ක ඓතිහාසික මුහුදු ගමනක් නිමා කරමින් මෙරටට පැමිණි ‘SLNS සමුද්‍ර විජය’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට නිල වශයෙන් එක් කිරීම අද (04) කොළඹ වරායේදී සිදු කෙරුණා.

එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වැඩ බලන තානාපති ජේන් හොවෙල්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇති අතර, මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාවක් සිය රටට ගෙන ඒම සඳහා මෙතෙක් සිදු කළ දීර්ඝතම නාවික ගමන වනු ඇති.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නෞකාවක් පැනමා ඇළ හරහා යාත්‍රා කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වෙනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක හමුදාවේ ‘Decisive’ කටර් නෞකාව ලෙස හැඳින්වූ ‘SLNS සමුද්‍ර විජය’, එක්සත් ජනපද අතිරික්ත ආරක්ෂක උපකරණ ප්‍රදාන වැඩසටහන (EDA) යටතේ ශ්‍රී ලංකාවට පවරා දුන් සිව්වන වෙරළාරක්ෂක නෞකාවයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන්හි මුර සංචාර කටයුතු ශක්තිමත් කිරීම, නීති විරෝධී මසුන් ඇල්ලීම හා සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීම මෙන්ම නිදහස්, විවෘත හා සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීම වෙනුවෙන් යොදවා ගැනීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes