International06 June 2026

සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට

නයිජර් (Niger) රාජ්‍යයේ උතුරුදිග සහරා කාන්තාර කලාපයේදී මගීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තාක්ෂණික දෝෂයකට ලක්ව ක්‍රියාවිරහිත වීම හේතුවෙන්, දින ගණනාවක් අධික රශ්මිය සහ දැඩි පිපාසය දරාගත නොහැකිව පුද්ගලයින් 49 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාලි (Mali) රාජ්‍යයේ පැවැති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගී වී නැවත තම උපන්ගම් බලා පැමිණෙමින් සිටි නයිජර් ජාතිකයින් පිරිසක්.

මාලි සහ ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි අසමකා (Assamaka) නගරයට කිලෝමීටර් 80ක් පමණ බටහිරින් වූ අතිශය දුෂ්කර කාන්තාර ප්‍රදේශයකදී මෙම ලොරි රථය අතරමං වී ඇති බවයි නයිජර් බලධාරීන් සඳහන් කරන්නේ.

රථයේ රියදුරු, සහායකයා සහ මගීන් එක්ව වාහනය අලුත්වැඩියා කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණද එය අසාර්ථක වී තිබෙනවා. ජලය සහ ආහාර නොමැතිව, සෙවනක් නොමැති කාන්තාරයේ දරුණු උෂ්ණත්වය හමුවේ කොටු වූ මෙම පිරිසෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකු පමණයි. ඔවුන් දෙදෙනා කිලෝමීටර් 50කට වඩා වැඩි දුරක් පා ගමනින් කාන්තාරය හරහා ගොස් ජල උල්පතක් සොයාගෙන, අනතුරුව අසමකා නගරයට ළඟා වී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් අදාළ ස්ථානයට යන විටත් ලොරි රථය තුළ සහ ඒ අවට තිබී පිරිමින්, කාන්තාවන් ඇතුළු 49 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර, පවතින සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් මත ඔවුන්ගේ සිරුරු එම ස්ථානයේදීම සමූහ වළවල්වල තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම අතරතුරදී බැටරි දෝෂයක් හේතුවෙන් දින 3ක් පුරා එම ප්‍රදේශයේම අතරමංව සිටි මගීන් 60කට අධික පිරිසක් රැගත් තවත් ලොරි රථයක් බේරා ගැනීමට ද සහන කණ්ඩායම්වලට හැකි වූ බවයි නයිජර්හි අගාඩෙස් (Agadez) කලාපීය ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මුලාශ්‍රය: BBC
Related recommendation
Hiru TV News | Programmes