General06 June 2026

සලේ මාරාන්තික උපවාසයක: රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක් : සලේගේ බිරිඳත් පොලිස්පතිට ලියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

සලේ වෙත ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස සලකන බවටත්, ඔහුට දරාගත නොහැකි බවටත් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතීඥ උදය ගම්මන්පිල මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියා.

මේ අතර, ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියකද මේ බව දක්වා ඇති අතර, ඔහුට ලබාදුන් බව කියන වධ හිංසන හා අමානුෂික සැලකීම් සම්බන්ධයෙන් කඩිනමින් ස්වාධීන අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

එසේම ඔහුගේ ආරක්ෂාව හා කායික යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සියලු‍ පියවර ගන්නා ලෙස ද සුරේෂ් සලේගේ බිරිඳ එමගින් ඉල්ලා තිබෙනවා.

ඔහු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයින් හමුවූ අවස්ථාවේ දැනුම් දුන් බවත්, ඔහුට ලැබෙන අඛණ්ඩ මානසික වධ හිංසා සහ පහත්කොට සැලකීම් තවදුරටත් දරා සිටිය නොහැකි බව පැවසූ බවත් ඇය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.

එමෙන්ම, සුරේෂ් සලේට ප්‍රමාණවත් ලෙස ආහාර නොදෙන බවත්, රාත්‍රී 10න් පමණ පසු ඔහුට වැසිකිළි භාවිත කිරීමට පවා අවසර නොමැති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට දරුණු මලබද්ධය සහ විවිධ ශාරීරික සංකූලතා ඇති වී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වාර්තාවේ ද සඳහන් වන බවත් සුරේෂ් සලේගේ බිරිඳ සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

එසේම, අද (06) දින තම පවුලේ සාමාජිකයින් ඔහු බැලීමට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ශාරීරික පෙනුමේ මෙන්ම මානසික තත්ත්වයේදී කැපී පෙනෙන පිරිහීමක් දුටු බවත් තදින් වියලී ගිය තොල්, වළ ගැසුණු ඇස්, පෙනීමේ දුර්වලතා මෙන්ම තදින්ම මානසික අවපීඩනයට ලක්වූ තත්ත්වයක් ද නිරීක්ෂණය කළ බවයි සුරේෂ් සලේගේ බිරිද සිය ලිපියෙන් පවසන්නේ.

මීට අමතරව, ඔහු රඳවා තබාගැනීමට සම්බන්ධ සියලු‍ සී.සී.ටී.වී දර්ශන සුරැකීමට සහ ඒවා විනාශ කිරීම වැළැක්වීමට වහාම උපදෙස් ලබා දෙන ලෙසට ද ඇය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අදාළ සී.සී.ටී.වී දර්ශන ලබා ගැනීමට දැනටමත් ඉල්ලීමක් කර ඇති නමුත් තවමත් එම දර්ශන ලබා දී නොමැති බවත් අදාළ ලිපියේ සඳහන්.

මෙම කරුණු සලකා සිය සැමියාගේ ආරක්ෂාව සහ කායික යහ යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සියලු‍ පියවර ගන්නා ලෙස මනෝරි සලේ මෙම ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes